'අනුරාධපුර රැළියට ලංගම බස් දාහක්'

Image caption පසුගියදා අනුරාධපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන බවට ‘පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන’ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරයි.

රජයේ දේපල, රජයේ නිලධාරීන් සහ රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස පරිහරණය කිරීම ඇතුළු නිරීක්ෂණ ගණනාවක් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට පැමිණිලි කොට තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක රැළි ආවරණය කිරීම සඳහා ජාතික රූපවාහිනී සේවය සහ ස්වාධීන රූපවාහිනී සේවය යොදා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්.

Image copyright transparency international

අනුරාධපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය සජීවී විකාශය සඳහා ස්වාධීන රූපවාහිනී සේවය පමණක් රුපියල් ලක්ෂ විසි එකක මුදලක් වැය කර ඇතැයි වාර්තා වූ බව පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන පැවසීය.

මීට අමතරව එම රැළියට ජනතාව ගෙන ඒම සඳහා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දහසකට අධික සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

හැටන්, මඩකලපුව, කිලිනොච්චිය, යාපනය, දඹුල්ල, උඩහමුල්ල, මොරටුව, කෑගල්ල, පොලොන්නරුව, මහියංගණය, මට්ටක්කුලිය, බදුල්ල, කැකිරාව, හොරොව්පතාන සහ වව්නියාව යන පෙදෙස් වල සිට එම බස් රථ පැමිණ ඇති බවයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතන වැඩසටහන පවසන්නේ.

බස් රථ විශාල සංඛ්‍යාවක් ඒ සඳහා යොදා ගැනීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ලොරිවල නැගී විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සිදු වූ බවයි පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන සඳහන් කළේ.

මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පත් අයථා ලෙස යොදා ගැනීම, අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු ගොඩනැගිලි හා සම්පත් පරිහරණය, රාජ්‍ය ආයතනවල නීති විරෝධී ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්ද පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට තිබේ.