ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහාය මෛත්‍රිට

එළඹෙන ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකවරයාට සහාය ලබා දෙන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මෙරට බරපතළ ලෙස ඛාදනයට ලක් වූ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සහමුලින්ම ඉවත දමා ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.

‘තෙවන ජනාධිපති ධුර කාලයක් සඳහා තරග වදින මහින්ද රාජපක්ෂ මහතාට යළිත් එවැනි ආයාචනයක් කිරීමෙන් ප්‍රතිඵලයක් වෙතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කල්පනා නොකරයි’ යනුවෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ පොදු විපක්ෂය හරහා ශ්‍රී ලංකාව තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියකට අවශ්‍ය වාතාවරණයක් ගොඩනැගෙනු ඇති බවට පවතින විශ්වාසය මත තම සංවිධානය මෙම තීරණය ගත් බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර ප්‍රකාශ කළේ.

'වෙනසක්'

‘අරලියගහ මන්දිරයට සුමාන දෙක තුනකට සැරයක් මාධ්‍ය ප්‍රධානීන් කැඳවනවා. අද පවතින රජය පමණක් නොවෙයි බොහෝ රජයන් අරලියගහ මන්දිරයේ රෑට නැත්නම් උදේට පත්තරේ යන්න ඕනි ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා කියනවා, මේ විදිහට දාන්න කියනවා’යනුවෙන් එම අවස්ථාවට සහභාගී වූ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පැවසුවේය.

ජනාධිපති ධුරය සතු විධායක බලතල ඉවත් කිරීමේ අරමුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බැවින් අනාගතයේදී මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය නිසියාකාරව කර ගෙන යාමට හැකි වනු ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය.

මේ අතර ජනාධිපතිවරණයෙන් පසු දින සියයක් ඇතුළත මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම පිණිස තම යෝජනා ක්‍රියාත්මක කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විපක්ෂයේ පොදු අපේක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

තොරතුරු නිදහස, දණ්ඩ මුක්තිය අහෝසි කිරීම, මාධ්‍ය ස්වාධීනත්වය, මාධ්‍ය වාරණය අහෝසි කිරීම සහ සමාජ වගකීම යන කරුණු නිදහස් මාධ්‍ය ව්‍යාපාර යෝජනාවලියේ ඇතුළත්.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද කෙටි කාලීන යෝජනාවලිය තමා පිළිගන්නා බව පැවසූ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන වැඩි දුරටත් කියා සිටියේ මාධ්‍යවේදීන් ඝාතනය කළ පුද්ගලයන්, පහරදීම් ඇතුළු වද හිංසා සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කොට වරදකරුවන් නීතිය හමුවට පමුණුවන බවයි.