උතුරු පළාත් නායකයන් අතර ගුටිබැට හුවමාරුවක්

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමක් අතරතුර උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු සහ ඊපීඩීපී මන්ත්‍රීවරු අතර ගැටුමක් හට ගෙන තිබේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන කමිටු රැස්වීමක් පැවැත්වෙන අතරතුර දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු සහ ආණ්ඩුවට සහාය ලබා දෙන උතුරු පළාත් සභාව තුළ විපක්ෂය නියෝජනය කරන ඊපීඩීපී පක්ෂයේ මන්ත්‍රීවරු ගුටිබැට හුවමාරුවක නිරත වූහ.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කොට ඇති මොහොතක දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් අදහස් පළ නොකරන ලෙස යාපනය දිසාපතිවරයා රැස්වීම ආරම්භයේ කළ ප්‍රකාශය ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා විසින් කඩ කරනු ලැබීමත් සමග උණුසුම් වාතාවරණයක් ඇති වූ බව දෙමළ ජාතික සන්ධානය පැවසුවේය.

උතුරු පළාත තුළ දේශපාලනයට සම්බන්ධ නොමැති ඊපීඩීපී සංවිධානයේ පිරිසක් යාපනයේ සංවර්ධන සභා රැස්වීමට පහර දුන්නේ ඉතා සැලසුම් සහගතව යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් චෝදනා කළේය.

පහර කෑම හේතුවෙන් උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය එන් අයින්කරනේෂන් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු සිව් දෙනකු තුවාල ලබා ඇති බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විදි දුරටත් කියා සිටියේය.

මේ අතර ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා කියා සිටියේ පහරදීම ආරම්භ කළේ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් බවයි.

එම පහරදීම් නිසා ඊපීඩීපී සංවිධානයේ පස් දෙනෙකු තුවාල ලද බව කී අමාත්‍යවරයා කමිටු රැස්වීමට සහභාගි වූ සියලු දෙනා තම සංවිධානයේ දේශපාලන ක්‍රියාධරයින් බවද පැවසීය.

ගැටුමෙන් තුවාල ලැබූ තිදෙනකු මේ වනවිට නේවාසික රෝහල් ප්‍රතිකාර ලබන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙයෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ වැඩි දුරටත් කියා සිටියේ ගැටුම සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීමෙන් පසු වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර