ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුනාමි අනාථ දැරියක් 'දූෂණය වී ගැබ් ගත්තා'

මෙයින් දස වසරකට පෙර සුනාමියට බිලිවූ දස දහස් සංඛ්‍යාත ජනතාව අතරින් බහුතරය කාන්තාවන් සහ දරුවන්.

ශ්‍රී ලංකාවාසී තවත් දහස් සංඛ්‍යාත දරුවන් පිරිසකට අනාථයන් බවට පත්වූයේ ඔවුන්ගේ මව, පියා හෝ මවුපියන් දෙදෙනාම සුනාමි රළ පෙළ විසින් බිලිගැනීම හේතුවෙන්.

එහෙත් එසේ අනාථ වූ දැරි දැරියන් පැහැරගැනීමට, ව්‍යාජ ලෙසින් හිමිකම් පෑමට මතු නොව එක් අනාථ දැරියක් කඳවුරකදී දූෂණය කිරීමට පවා සුනාමියෙන් බැට කෑ ලාංකීය සමාජයම කුරිරු වූ බව අදහාගන්නත් නොහැකි තරම්.

"ඒ ළමය දූෂණය වීමේ ප්‍රතිඵලය, අපි එයා නිවාස ගතකළත් එයාට ළමයෙක් හම්බ වුනා. ඒ දරුවා අපි නිවාස ගත කරලා දැන් ළමය ලොකුයි," යනුවෙන් මාතර පොලිස් ස්ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශය භාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඒ යුගය සිහිපත් කරන්නීය.

'පැහැර ගැනීමට තැත් කළා'

කාන්තා සහ ළමා කාර්යාංශයට අදාළ වෙනත් විමර්ශන කටයුතු මෙන්ම, ගතව ගිය දශකය තුළ සුනාමියෙන් අනාථ වූ දරු දැරියන් 360 කට වැඩි පිරිසක් රැක බලා ගැනීමත් ඇයට පැවරී තිබුණ වගකීමක්.

තවමත් නිවාසගතව සිටින දරු දැරියන්ට තමන්ගේම දරුවන් ලෙසින් ඇය සෙනෙහසින් සලකන ආකාරයයි, සුනාමියට දස වසරක් පිරීම අරභයා විශේෂ වැඩසටහන් මාලාවක් සම්පාදනය කිරීම් වස් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන සංදේශයේ සරෝජ් පතිරණට දැකගන්නට ලැබුනේ.

"මුලින්ම ම ගියේ මාතර කිතුලේවෙල තිබුන කෑම්ප් එකට," යනුවෙන් පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මතකයට නැගුවාය.

"එතනින් අම්ම කියල කෙනෙක් කුඩා දැරියක්ව අරගෙන යන්න හදන කොට එයා බෑ බෑ කිය කියා අඬල තිබුණ. එතකොට අවට අය මට ඒ තොරතුර දුන්න."

එදා නිවාසගත කෙරුණු ඒ හය හැවිරිදි ඒ දැරිය, මවත් පියාත් නොමැතිව අදත් ගත කරන්නේ ළමා නිවාසයක.

ළමා නිවාසයේ සිට පාසල් යන අතරවාරයේ 'අංකල්ල වගයක්' එන්නතක් ගසා පැහැර ගැනීමට තැත් කළ නමුත් වාසනාවකට සිය පාසල් මිතුරියන් දැක පොලිසියට පැමිණිලි කිරීම නිසා යලිත් වරක් බේරුණු අන්දම ඒ දැරියට තවමත් මතකයි.

සුනාමියෙන් අනතුරුව එවැනි බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් මැදිහත්ව දරුවන් බේරා ගැනීමට කටයුතු කළ අන්දමත් පොලිස් පරීක්ෂකවරිය සිහිපත් කරන්නීය.

එදා නිවාස ගත කළ බොහෝ දරුවන් මේ වනවිට වැඩිහිටියන් බවට පත් වී හෝ ඥාතීන් සමඟ දිවි ගෙවන බව පෙන්වා දෙන ඇය, ඇතැම් දරුවන් වෙනුවෙන් අද දක්වාම මූල්‍යාධාර ලබාදීමට දෙස් විදෙස් දානපතියන් ඉදිරිපත් වී සිටින බවත් කෘතවේදීව සඳහන් කරන්නීය.