'ඡන්ද දූෂණ කළොත් විශ්‍රාම වැටුපත් නොගෙන ඉවත් වෙනවා' - මැ. කො

'ඡන්ද දූෂණ කළොත් විශ්‍රාම වැටුපත් නොගෙන ඉවත් වෙනවා' - මැ. කො

ඡන්ද පොළේ ඡන්දය භාවිතා කිරීමේ දී, හෝ ඡන්ද ගණන් කිරීමේ දී ඡන්දයේ ප්‍රතිඵල වෙනස් කිරීමට හැකි ආකාරයේ මහා පරිමාණයේ දුෂණ සිදුවන බවට යමෙක් ඔප්පු කළ හොත් විශ්‍රාම වැටුප ද නො ගෙන ඉවත් වීමට මැතිවරණ කටයුතු දෙපාර්තමේන්තු සේවකයන් සුදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි එවැනි දුෂණයක් සිදු නොවන බවට සහතිකයක් දීම සඳහාය ඔහු මේ බව ප්‍රකාශ කළේ.

“සුළු එකතුකිරීමේ දෝෂයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අටසිය හතලිස් එකක් පාවිච්චි කරපු චන්ද පොලේ එස්පීඕ ගේ රිපෝර්ට් එකේ තියෙන්න පුළුවන් අටසිය අනු එකක් පාවිච්චි කලයි කියල. අපි අටසිය අනු එකයි කියල ලියල තිබුණට අරගොල්ලන් ගේ ටැලි වලින් පේනව (ඒජන්ට් ලගේ), අටසිය අනු එකක් නොවෙයි අටසිය හතලිස් එකයි කියල. එතකොට ආපසු ගණන් කරන්න කියල ඒ ගොල්ල කියනව” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

'පෙට්ටි මාරු කරන්න බැහැ'

ඡන්ද පෙට්ටි බස් රථ තුල දී මාරු කිරීම කළ හැකි යැයි නැගෙන චෝදනාවට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේ අළුතින්ම භාවිතයට හඳුන්වා දුන් අංක හා මුද්‍රා දැමීමේ ක්‍රමයට අනුව පෙට්ටි මාරු කිරීමක් කිසිසේත් කළ නොහැකි බවයි.

“අපි චන්ද පොළට සීල් තුනක් යවනව. උදේට රැන්ඩම් විදියටයි ඒවායින් එකක් තෝරා ගන්නෙ” යනුවෙන් රැගෙන ඇති ආරක්ෂාකාරී පියවරවල ඇති විශ්වසනීයත්වය පිලිබඳවද ඔහු පැහැදිලි කළේය.

හින්දි චිත්‍රපට වල පෙන්වන “බුත් කැප්චරින්” යන වචනයෙන් හැඳින්වෙන චන්ද මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම වැනි දේ ඉන්දියාවේ සිදු වුවද ලංකාවේ සිදු නොවන බවයි මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රකාශ කළේ.

අතීතයේ එවැනි දේ ලංකාවේ සිදු වූ අවස්ථා තිබුණ ද අර්ජුණ පරාක්‍රම සහ අධිකාරී එගොඩවෙල යන අය විසින් අධිකරණයේ ගොණු කළ නඩු වලට ලැබුණු අධිකරණ තීන්දුවලින් පසු එවැනි දේ සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

'යුරෝපා සංගමය පක්ෂග්‍රාහී ලු'

විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් ගෙන ඒමට ඇතැම් තරඟ කරුවන් අකමැත්ත පළ කිරීම පිළිබඳ ව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ යුරෝපා සංගමයෙන් නිරීක්ෂකයන් පැමිණීමට ඇතැමුන් විරෝධය පලකොට ඇත්තේ යුරෝපා සංගමය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට ඇති මතය නිසා බවයි.

“කොමන්වෙල්ත් එකෙන් ගෙන්න මම කවුරුන් ගෙන් වත් අහන්න ඕන නැහැ. මොකද කොමන්වෙල්ත් එකේ අපේ රට මෙම්බර් කෙනෙක් නිසා. එත් අපි ඊයු (EU) එකේ මෙම්බර් කෙනෙක් නොවෙයි. ඒ නිසා අපේ ට්‍රැඩිෂන් එක තමයි ඊයු එකට ආරාධනා කරනවා නම් තරඟ කරන පක්ෂවල අපේක්ෂකයන් ගේ අනුමැතිය ලබා ගැනීම” යනුවෙන් තීරණය පිලිබඳ විස්තර කළේය.