ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෛත්‍රීගේ පැරණි කතා මැතිවරණ ප්‍රචාරණයට

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ව සිටිය දී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශංසා කරමින් කර ඇති ප්‍රකාශ ඇතුළත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය විකාශය කළ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා මින් වසර හතරකට පෙර කරන ලද ප්‍රකාශ පදනම් කර ගනිමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර දේශපාලන වාසි ලබා ගැනීමට තරම් ආණ්ඩුව අද බංකොලොත් වී ඇති බවයි අද බ්‍රහස්පතින්දා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පොදු අපේක්ෂකයාගේ සම මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර පැවසුවේ.

තමා අමාත්‍යවරයෙකු ව සිටිය දී ජනාධිපතිවරයා ගැන කළ ප්‍රකාශ වලින් තෝරා ගත් ප්‍රකාශ ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සඳහා වෙළඳ දැන්වීම් ලෙස යොදා ගැනීම වළක්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන කළ ඉල්ලීමකට අනුවයි මැතිවරණ කොමසාරිස්වරයා එවන් දැන්වීම් ප්‍රචාරය නොකරන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ.

මෙවන් ප්‍රචාරක දැන්වීම් නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය යහපත් වාතාවරණයට බාධාවක් බවද මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍ය ආයතන වෙත යැවූ ලිපියේ සඳහන් වේ.

ජනතාවගේ තීරණය

"මම කොයි තරම් එතුමාගේ හොද කියලා තියෙනවද, මොකද රජෙක් රජෙක් වගේ හැසිරෙන කාලයට අපි හොද කියනවා, රජා හොරා වුනාම අපිට හොරාට බනින්න වෙනවා"- මංගල සමරවීර

මෙහි දී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ යුද්ධය පිලිබඳ තමන් හා මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා දැරූ ස්ථාවර වල කිසිදු වෙනසක් නොමැති බවයි.

මේ අකාරයෙන් වසර ගණනාවකට පෙර මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා සිදු කළ ප්‍රකාශ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණයට යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසූ විට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ, " මම දන්නේ නැහැ කාලපරිච්ඡේදය හැබයි මීට වඩා හොඳ කතාවක් කළා පසුගිය සම්මේලනයේ, ජනාධිපතිතුමා වර්ණනා කළේ සැබෑ රජෙක් කියා කියා, මම හිතනවා මේකෙන් එතුමලාට රිදිලා එකයි මේ ගැන කතා කරන්නේ" යනුවෙනි.

මෙය සදාචාර විරෝධී නොවේ දැයි සංදේශය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ එය තීරණය කල යුත්තේ ජනතාව වන බවයි.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ තිබෙන සද්භාවය පිළිබඳ මෙම දැන්වීම් මගින් ජනතාවට දැන ගත හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා මෙය වරදක් ලෙස නිල වශයෙන් දැනුම් දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවයි.