මූලික අරමුණ ජනාධිපති පරාජය කිරීම - ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණේ මූලික අරමුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කොට දෙවනුව රට ගොඩ ගැනීමේ වැඩ පිළිවෙළට උරදීම බව නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එසේ කියා සිටියේ කන්තලේ පවතී ජන හමුවක් අමතමින්.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යළි බලයට පත් වුවහොත් ඉවත් කළ හැක්කේ මහා ලේ වැගිරීමකින් බවයි ඔහු ප්‍රකාශ කළේ.

“රාජපක්ෂ ඒ දෙවැනි බල යුගයට දොරටු විවෘත කර ගත හොත් ජනවාරි 8 වැනිදා නැවත මේ ගොල්ලෝ ඉවත් කරන්නේ වන්නේ මහා ලේ වැගිරීමකින් “

කරුණා අම්මාන් , කුමරන් පද්මනාදන් වැනි ප්‍රබල කොටි නායකයන් විසින් සිදු කළ අපරාධ පිළිබඳ තොරතුරු ජනතාවට දන ගැනීමට තිබූ ඉඩ කඩ වසා දමා ඔවුන් උත්තම පුරුෂයන් කිරීමෙන් දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නොහැකිවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

විදේශ ණය පොලී

රට සංවර්ධනය කොට ඇති බවට උදම් ඇනුවත් පසුගිය වසර දෙකේදීම ශ්‍රී ලංකාවේ ජාතික ආදායම විදේශ ණය පොලී ගෙවා ගැනීමටවත් තරම් නොවූ බව මහා බැංකු වාර්තාවලින් හෙළිවී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසුවේය.

අද බ්‍රහස්පතින්දා තම රැස්වීමේ පූර්ව ප්‍රචාරක දැන්වීම් යුද හමුදාව විසින් ඉරා දමා ඇති බව පැවසූ නායක අනුර කුමාර දිසානායක සිය බලය තහවුරු කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද හමුදාව දේශපාලනීකරණය කර ඇති බවට චෝදනා කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර