ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වඳුරඹ සැකකරුවන්ට දේශපාලන පිළිසරණක් - කැෆේ සංවිධානය

වඳුරඹ විපක්ෂයේ වේදිකාවට පහර දුන් බවට සැක පිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා බද්දේගම මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිය දී එම පළාතේ දේශපාලනඥයෙකු විසින් පැහැර ගත් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය වාර්තා කරයි.

දේශපාලනඥයකු විසින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බලපෑම් කරන අවස්ථාවක් ලෙස තමන් මෙම සිදුවීම දකින බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේ රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට පැවසුවේ.

වඳුරඹ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවට ආරක්ෂාව ලබා දුන් පොලිස් නිලධාරීන් ඉවත්ව සුළු වෙලාවක් ඇතුළත එම වේදිකාවට පහර දී තිබෙන බව පවසන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය එම පහර දීම හඳුන්වා තිබුණේ මෙවර මැතිවරණයේ වාර්තා වූ සුවිශේෂ ප්‍රචණ්ඩ ක්‍රියාවක් හැටියටයි.

සාධාරණ නැහැ

පොලිසියේ ඉල්ලීම පිට කට උත්තර දීමට තම ආධාරකරුවන් සමග පැමිණි අවස්ථාවේ පොලිසිය තම ආධාරකරුවන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පැවසුවේය.

බද්දේගම වඳුරඹ විපක්ෂයේ වේදිකාවට පහර දුන් බවට සැක පිට අත් අඩංගුවට ගත් ආධාරකරුවන් තිදෙනා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළහොත් තමන් ද ‘බලහත්කාරයෙන්’ බන්ධනාගාර ගත වන බවයි ඔහු පසුගිය 19 වෙනිදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ.

සැකකරුවන් පැහැර ගැනීම සම්බන්ධයෙන් එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ,“ආණ්ඩුව අපේ වුනාට, ජනාධිපතිතුමා අපේ වුනාට, අපට සාධාරණයක් ඉෂ්ඨ වුනේ නැහැ,”යැයි කියා සිටියේය.

සැකකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා ඇති බව කියා සිටි විත්තියේ නීතිඥ මාපලගම විමලරත්න ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කල බව ද සඳහන් කළේය.