ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිංහල, දෙමළ, මුස්ලිම් භේද අමතක කළ සුනාමිය

අදින් දශකයකට පෙර ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපය විනාශ කළ සුනාමියෙන් දෙමාපියන් සහ උන්හිටි තැන් මතු ඇඳි වත පවා අහිමි වූ දරුවන් පිරිස දහස් ගණනක්.

සරණ ප්‍රජා සංවර්ධන පදනම, මාතර දිස්ත්‍රික්කයේ එසේ අවතැන් වූ දරුවන් දහස් ගණනකට රැකවරණ සලසා දුන් පුණ්‍යායතනයක්.

රුහුණු විශ්ව විද්‍යාලයේ සහායද සහිතව සරණ ප්‍රජා සංවර්ධන පදනමේ සියලු කටයුතු මෙහෙයවන්නේ කොටිකාගොඩ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති හක්මන ධම්මරතන හිමියන් විසින්.

මාතර පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එදාත්, අදත් සිය වැඩපිළිවෙලට උපකාර කළ අන්දමත් එහිමියෝ කෘතවේදීව සිහිපත් කරති.

බ්‍රිතාන්‍යය, ජර්සි දිවයින, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල වෙසෙන දානපතියන්ගේ උපකාරයෙන් එම පුණ්‍යායතනය අදත් සුනාමියෙන් බැට කෑ දරුවන් සිය ගණනකගේ අනාගතය සරු කිරීම පිණිස ආධාර කරමින් සිටියි.

කොටිකාගොඩ රජ මහා විහාරස්ථානය ඇතුළු රටපුරා පිහිටි බෞද්ධ විහාරස්ථාන සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේත් ජීවිතය යළි ගොඩ නැගීම පිණිස අත හිත දුන් අන්දම හක්මන ධම්මරතන හිමියන් විස්තර කළේ සංදේශයේ සරෝජ් පතිරණ පසුගියදා කොටිකාගොඩ රජ මහා කොටිකාගොඩ රජ මහා විහාරස්ථානයේදී එහිමියන් හමු වූ අවස්ථාවේ.

සියලු ශ්‍රී ලංකාවාසීන් අතර පවතින සමීප පවුල් සහ සමාජ සම්බන්ධතාවයන් හේතුවෙන් දින කිහිපයක් ඇතුලත යළි හිස එසවීමට ශ්‍රී ලංකාවාසීන් සමත් වූ බවයි, එහිමියන් පවසන්නේ.

සුනාමි ව්‍යසනය අවස්ථාවේ සිංහල, මුස්ලිම්, දෙමළ භේදයකින් තොරව උපකාර කිරීමට බෞද්ධ විහාරස්තාන ඇතුළු සියලු දෙනා ඉදිරිපත් වූ අන්දම උන්වහන්සේ විශේෂයෙන් සිහිපත් කළහ.