ටෙලෝ, ප්ලොට් සහය කාටද?

මෙවර ජනාධිපතිවරණයේදී ප්ලොට් සංවිධානයේත්,ශ්‍රී ටෙලෝ සංවිධානයේත් සහය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලැබෙන බව සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණය සදහා මෙහෙයුම් කාර්යාලයක් අද සෙනසුරාදා වවුනියාව නුවර පාරේ තේක්කවත්ත ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

වවුනියාවේ දේශපාලන කටයුතු වලදී ප්ලොට් සංවිධානය නගර සභාවේ බලය පවා හිමිකරගෙන සිටි බව කී අමාත්‍යවරයා ශ්‍රී ටෙලෝ සංවිධානය පසුගිය මැතිවරණ කිහිපයකදී රජයට සහාය ලබා දීමට එක් වූ බවද සිහිපත් කළේය.

පෙර මැතිවරණ වලදී නාම යෝජනා බාරදීමට යුද ටැංකි වල ආධාරයෙන් වවුනියාවට පැමිණි බව සදහන් කළ අමාත්‍යවරයා විශාල පිරිසකට යළිත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට වුවමනාවක් ඇති බවද කියා සිටියේය.

ප්ලොට් ටීන්ඒ සමග

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කී පරිදිම ප්ලොට් සංවිධනයේ සහය රජයට ලබා දෙන්නේදැයි වන්නි දිස්ත්‍රික්කයේ ප්ලොට් සංවිධායක කන්දයියා බවන්ගෙන් බී.බී.සී.සන්දේශය විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ ප්ලොට් සංවිධානය දෙමළ ජාතික සන්ධානය සමග කටයුතු කරණ ප්‍රධාන දේශපාලන පක්ෂයක් බැවින් තමන්ට සහාය දැක්විය හැක්කේ දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා පොදු තීරණයකට පමණක් බවයි.

ප්ලොට් සංවිධානය අතහැර ගිය කීප දෙනෙකු මේ අවස්ථාවේදී රජයට සහය දක්වන නමුත් එය සමස්ථ ප්ලොට් සංවිධානයම දක්වන සහයෝගයක් නොවන බවද ප්ලොට් නායකයා කියා සිටියේය.

ජනාධිපතිවරණයේදී ශ්‍රී ටෙලෝ සංවිධානය සහය දක්වන්නේ කාහටදැයි විමසූ විට එහි නායක කේ.උදයරාසා පැවසුවේ තමන් ඇතුලු කීපදෙනෙකු ජනාධිපතිවරයාත්, බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාත් සමග කොළඹදී පැවැත්වූ සාකච්ඡාවකදී ශ්‍රී ටෙලෝ සංවිධානයේ සහාය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදීමට එකග වූ බවයි.

නමුත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ සංවිධානය පවසන්නේ තමන් කටයුතු කරණු ලබන්නේ දෙමළ ජාතික සන්ධානය සමඟ බවත්, දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා කවුරුන්දැයි යන්න මෙතෙක් තීරණය කොට නොමැති බවත්.