ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

වීදි නාට්‍ය කණ්ඩායමකට සහ විපක්ෂ දේශපාලන ක්‍රියාධරයන්ට පහර දීම සහ බිය වැද්දීම යන චෝදනා මත හම්බන්තොට නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අද සවස (සඳුදා) හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු හම්බන්තොට මූලස්ථාන පොලිස් ස්ථානයට භාර වීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බවත් මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වූ බවත් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසීයට වාර්තා කළේය.

‘මෙහිදී අප නගරාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදි කරුවෙකු නොවන බව. ලබන මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව තමන්ගේ නිර්දෝෂී භාවය වඩාත් තහවුරු කරන බවද ඔහු කියා සිටියා. හම්බන්තොට නගරාධිපතිවරයා පොලිසියට භාර වුනේ නීතීඥයෙකු මාර්ගයෙන්.’ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සංදේශයට පැවසීය.

පහර කෑමට ලක් වූ කලා ශිල්පී ජයතිලක බණ්ඩාර, හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක එම් අයුබ්ඛාන්, මාධ්‍යවේදී සම්පත් සමරකෝන් හා වීදියේ විරෝධය වැඩ සටහනේ සංවිධායකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු රෝහල් ගත කර තිබේ.

පිස්තෝලය

ඒ අවස්ථාවේ පිස්තෝලයක් අතැතිව සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු වීදි ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන බව පවසමින් දිගින් දිගටම තමාට පහර දුන් බවයි ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර කියා සිටියේ.

පහර දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ සංදේශය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගෙන් විමසා සිටි අතර එහිදී නගරාධිපතිවරයා කියා සිටියේ ඇති වීමට ගිය ගැටුමක් නැවත්වීමට ඔහුට හැකි වූ බවයි.

ලක්‍ෂ තුනහමාරේ ඔරලෝසුව

විදියේ විරෝධය සංවිධායකයන් නගන චෝදනා හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කළ අතර ගැටුම නිරාකරණය කිරීමට ගොස් රුපියල් ලක්‍ෂ තුනහමාරක් පමණ වටිනා තම අත් ඔරලෝසුවද නැති වූ බව පවසයි.

මේ අතර පහර දීම සිදු වන අවස්ථාවේ පොලිසිය එම ස්ථානයට පැමිණ නැති බවයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට ප්‍රකාශ කළේ.

මෙම වීදි නාට්‍ය කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වන බවට කල් තියා තොරතුරු ලැබී තිබියදීත් නිසි ආරක්ෂාව සැපයීමට පොලිසිය අසමත් වී ඇති බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානය බීබීසීයට පැවසීය.

මේ පිළිබඳව පොලිසියේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇමතීමට බීබීසීය ගත් උත්සාහය සාර්ථක නොවීය.