ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කවුරු පැන්නත් ආණ්ඩුවට පීඩනයක් නැහැ- කෙහෙළිය

‘පැනීම්’ ගැන බොහෝ කතා පැතිර යන නමුත් කියන තරම් පැනීම් සිදු නොවන අතරම ‘යන්නන් මෙන් ම එන්නන්’ ද සිටින බව ජනමාධ්‍ය ඇමති කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියි.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය පළ කරමින් සිටි සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය ඉන් ඉවත්වයාම ආණ්ඩුවේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කෙරෙහි බලපාන මට්ටම පිළිබඳව බීබීසී සන්දේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනුයි ඇමතිවරයා එම ප්‍රකාශය කළේ.

කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් නායකත්වය දෙන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්ව කොළඹ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී කියා සිටියේ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියා පාලනය කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් නොගත් බවයි.

එම ඉවත් වීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට අලාභයක් ඇති කරන්නේදැයි බීබීසිය ප්‍රශ්න කළ විට ජනමාධ්‍ය ඇමති කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රමුක්වැල්ල ප්‍රකාශ කළේ, ‘විවිධ පෞද්ගලික අරමුණු මත සිදු කෙරෙන' එවැනි පිල් මාරු සම්බන්ධයෙන් කනගාටු වන නමුත් එමගින් තමන් දේශපාලන පීඩනයකට ලක් වී නොමැති බවයි.

දේශපාලන පක්ෂ නොව ජනතාව

විශේෂයෙන් ම සුළු ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීම සුළු ජාතික ඡන්ද පදනම කෙරෙහි ඇති කරන බලපෑම ගැන විමසූ විට ඇමතිවරයා කියා සිටියේ, තමන් දේශපාලන පක්ෂ හරහා නොව පොදුවේ ජනතාව අමතන බවයි.

‘ජාතිවාදී ලේබල් ගසා ගත් පක්ෂවලට ඇති ප්‍රවණතාවය අඩු මට්ටමක එකක් වන බව අපේ විශ්වාසයයි’ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසයි.

අමීර් අලි මන්ත්‍රීවරයා ආණ්ඩුව විසින් පිරිනමන ලද මන්ත්‍රී ධූරය භාර ගනිමින් විපක්ෂයට එක්වීම දේශපාලන බංකොලොත්භාවයේ ලක්ෂණයක් හැටියටයි ඇමතිවරයා විසින් විග්‍රහ කරනු ලබන්නේ