ආනන්ද සංගරීගේ සහයෝගය පොදු අපේක්ෂකයාට

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමා සහ තම පක්ෂය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වීමට තීරණය කළ බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ(TULF)නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී පවසයි.

එවැනි තීන්දුවක් ගැනීමට බල පෑ ප්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා, දෙමළ නායකයන් විසින් ඉල්ලා සිටින ලද කිසිවක් ඉටු කිරීමට පියවර නොගැනීම වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

‘දෙමළ ජනයාට සිදු වූ අසාධාරනය හමුවේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ විසින් ඉහත කී තීන්දුව ගන්නා ලද්දේ පක්ෂ සාමාජිකත්වයේ ඒකමතිකව වන බවත්’ ආනන්ද සංගරී පවසයි.

පොදු අපේක්ෂකයා ඇතුලු පිරිස ගෙන යන වැඩපිලිවෙලට තමන් ඇතුලු සාමාජිකත්වයේ සහයෝගය ලැබෙන බව පවසන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, තම පක්ෂය දෙමළ ජාතික සන්ධානය(TNA) සමග කටයුතු කරණ නමුත් 2015 ජනාධිපතිවරණයේ දී ඔවුන් ගන්නා තීරණය කුමක්දැයි තවමත් තමන් නොදන්නා බවයි බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

TNA තවම නැහැ

දෙමළ ජාතික සන්ධානය 2005 ජනාධිපතිවරණයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වුවමනාව මත බව සඳහන් කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා,2010 ජනාධිපතිවරණයේ දී ඔවුන් ජනරාල් සරත් ෆොන්සේකාට ඡනදය දෙන ලෙස ඉල්ලා සිටියත් ජනතාව එම අදහසට එතරම් ගරු කිරීමක් නොකළ බවයි පවසන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ මෙවර කැමැත්ත කුමක් වුනත් ඔවුන් එදා ගත් ආකාරයේ තීන්දුවක් මෙවර ජනාධිපතිවරණයේ දී තම පක්ෂයට ගත නොහැකි හෙයින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයාට සහයෝගය දීමට තීරණය කළ බවයි ආනන්ද සංගරී වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර