ජවිපෙ දෙනියාය සංවිධායකවරයකුට ප්‍රහාරයක්

දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයකු වන ඒඩී ආරියදාසට විශේෂ කාර්ය බලකායෙන් යැයි කියා ගත් පිරිසක් පහර දී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාධරයකු වන ඔහු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ විධායක සභාවේ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් වශයෙන්ද කටයුතු කරයි.

එළඹෙන ජනාධිපතිවරණය හා සම්බන්ධ දේශපාලන පළිගැනීමක් ලෙස ඒඩී ආරියදාස මෙම ප්‍රහාරය හඳුන්වයි.

‘මේ මැතිවරණයත් එක්ක ඒගොල්ලෝ වියරු වැටිලා ඉන්නේ. ඒගොල්ලන්ට ජනතාව ජනවාරි අට වෙනිදාට නිසි පිළිතුරු ලබා දෙයි’ යනුවෙන් ඒඩී ආරියදාස පැවසුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත සමග අදහස් දක්වමින්.

'වියරුවක්'

අඟහරුවාදා අලුයම දෙනියාය එන්සල්වත්ත වතුයායේ සේවය නිම වී සිය නිවස කරා යමින් සිටියදී තමාගෙන් ප්‍රශ්න කළ විශේෂ කාර්ය බලකායේ යැයි කියා ගත් පිරිස තමාට අමානුෂික ලෙස පහර දුන් බවයි ඒඩී ආරියදාස කියා සිටියේ.

‘මට පිස්තෝලයක් පෙන්නලා කිව්වා අපි ‘එස්ටීඑෆ්’ එකෙන් කියලා. ඒ කියනවත් එක්කම පිටිපස්සේ හිටපු අනික් කට්ටිය පොලු වලින් ගහන්න ගත්තා. සිවිල් හිටියේ. හය දෙනෙක් විතර හිටියා’ යනුවෙන් ඔහු පැවසීය.

පහර කෑම හේතුවෙන් ඒඩී ආරියදාසගේ අතේ අස්ථියක් බිදී ඇති අතර ඔහු මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර