මහින්දගේ 'ලොව දිනන මඟ’ එළි දකියි

යුද්ධය අතරතුර මානව හිමිකම් කඩ වී ඇත්නම් දේශීය අධිකරණ ක්‍රමවේදයක් හරහා යුක්තිය ඉටු කරන බව ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පසුගිය ජුලි මාසයේදීද දේශීය පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපතිවරයා නියෝග කළේය.

ජුලි පැවැත්වීමට නියෝග කළ එම දේශීය පරීක්ෂණයේත් ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ නව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් දේශීය පරීක්ෂණයේත් වෙනස පැහැදිලි නැති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් සහ මාධ්‍ය නිදහස තහවුරු කරමින් යුද අපරාධ පරීක්ෂණයක් සඳහා වන ජාත්‍යන්තර පීඩනය පරාජය කරන බවටත් ජනාධිපතිවරයා ජනතාව හමුවේ ප්‍රතිඥා දෙයි.

මේ අතර සමාජයේ සියලු පාර්ශවවල සහයෝගය ඇතිව නව ව්‍යවස්ථා සංශෝධනයකටද යන බව ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

මහා සංඝරත්නය, ආගමික නායකයින්, බුද්ධිමතුන් සහ සිවිල් සංවිධාන ඇතුළු සියලු පාර්ශවවල දායකත්වය ඇතිව නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යන බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමින්.

මැතිවරණ පොරොන්දු මාස කිහිපයක් ඇතුළත අමතක කර දමන ලියවිල්ලකට පමණක් සීමා වී තිබූ බව පවසන ජනාධිපතිවරයා ‘මහින්ද චින්තනය’ එසේ අමතක කර දමන ලියවිල්ලක් නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවයි කියා සිටියේ.

‘හාමුදුරුවනේ එක කැසිනෝ බලපත්‍රයක් නොදුන් අතක්, එක බාර් ලයිසන් එකක් නොදුන්න දෑතක් තමයි මට තියෙන්නේ කියලා මම ආඩම්බරයෙන් කියනවා’ යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා, සදාචාරය සුරකින බවට තමා දුන් ප්‍රතිඥාව වර්තමානය වන විට ක්‍රියාවට නඟා ඇති බවත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර