ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගංවතුර නිසා අම්පාරේ දාහතර දාහක් කඳවුරුවල

අම්පාර දිස්ත්‍රික්කයට නොකඩවා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වී තිබෙන ගංවතුර තර්ජනයෙන් දෙලක්ෂ අසූ දහසක් පමණ දෙනා පීඩාවට පත් වී ඇති බව බලධාරීහු පවසති.

අවතැන් වූවන් සඳහා මේ වන විට පිහිටුවා ඇති කඳවුරු විසි හතරක, පවුල් 3617 කට අයත් දාහතර දහසක් පමණ දෙනා සිටින බවයි අම්පාර දිසා ලේකම් නීල් ද අල්විස් කියා සිටියේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ජල ගැල්ම දැඩි ලෙස බලපා ඇත්තේ ලාහුගල සහ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට යි.

ජලයෙන් යට වී ඇති නින්දවුරු ප්‍රදේශයේ කාණුවකට වැටී කුඩා දරුවෙකු මිය ගොස් ඇති බවත් මහඔය නාවැදන්වේලි සමන්තුරේ ප්‍රදේශවලින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවත් වසන්ත චන්ද්‍රපාල අම්පාරේ සිට වාර්තා කළේය.

බේරා ගැනීමේ සහ සහන සේවා සඳහා ආරක්ෂක හමුදාවල සහාය ද ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ.