‘රනිල්-මෛත්‍රී ගිවිසුම’: මෛත්‍රී තිස්සගෙන් වන්දි ඉල්ලයි

ව්‍යාජ අත්සන් සහිත ගිවිසුමක් සකස් කොට තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි 250 ක වන්දියක් ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක වෙත එන්තරවාසියක් යැවූ බව විපක්ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

සිය නීතීඥවරයා මාර්ගයෙන් ඒ සඳහා වන එන්තරවාසිය අමාත්‍යවරයා වෙත යවන ලද බවයි, පොදු අපේක්ෂකයා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ.

ව්‍යාජ ගිවිසුම් පිටපතක් සැකසීම මගින් තමාට අපහාසයක් සිදුව ඇති අතර, එය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම චේතාන්විත අපහාසයක් වන බවත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමඟ තමන් නොවැම්බර් 01 දා හෝ වෙනත් දිනෙක කිසිදු ගිවිසුමකට එළඹ නැති බව පොදු අපේක්ෂකයා අවධාරණය කරයි.

එබැවින් පසුගිය දිනෙක සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක විසින් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන ලද ‘ගිවිසුම’ ව්‍යාජ ලේඛණයක් බව පවසන මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා, එවැන්නක් සකස් කිරීම රටේ නීතිය උල්ලංඝණය කරන අපරාධයක් බවද පවසයි.

එම ව්‍යාජ ගිවිසුම මුද්‍රණය කරන සහ බෙදා හරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සිය නීතිවේදීන්ට උපදෙස් දුන් බවත් නිවේදනයේ සඳහන්.

එවැනි ව්‍යාජ ලේඛණයක් සකස් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කල පැමිණිල්ල සම්බන්ධයෙන් විපක්ෂනායකවරයාගේ සහ පොදු අපේක්ෂකයාගේ කටඋත්තර බ්‍රහස්පතින්දා සටහන් කරගත් බව පොලිසිය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර