මම සිංගප්පූරුවේ - ඇමති මුතුහෙට්ටිගම

අධිකරණ වරෙන්තුවක් ප්‍රකාර තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ දරමින් සිටින බැවින් එයින් බේරීම පිණිස සිංගප්පූරුවට පැමිණි බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වීම පිණිස පසුගියදා වඳුරඹ පැවැත්වුණු ප්‍රචාරක රැලියේ වේදිකාව ගිනි තබා විනාශ කිරීමේ චෝදනා ලබා සිටින සැකකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවේ සිටියදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්නා මෙන් පසුගිය බදාදා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළේය.

තමන් අධිකරණයට ගරු කරන නමුත් පොලිසිය “කුලප්පුවක් හැදී” තමා සොයමින් සිටි බැවින් සිය “ආරක්ෂාව සඳහා” හිතවතුන් කිහිප දෙනෙකු සමඟ තාවකාලිකව සිංගප්පූරුවට පැමිණි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සිංගප්පූරු ගුවන් තොටුපොලේ සිට මාධ්‍යවේදී සනත් පතිරණ සමඟ දුරකථනය ඔස්සේ අදහස් දක්වමින්.

“ප්‍රශ්නය බේරෙන තුරු” දින කිහිපයක් ගතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වීම පිණිස යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

“මට විරුද්ධව විවිධ, චෝදනා වරෙන්තු ඉදිරිපත් කරලා තිබුන ඒවා දරාගන්න බෑ. පහුගිය ටිකේ ටිකක් මහන්සිවෙලා වැඩකළා. අන්තිමට ප්‍රශ්නෙයක් වුනාම ඉතිරි වෙන්නේ අපි විතරයි,” යනුවෙන්ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 306 යානයෙන් සිකුරාදා අලුයම එකට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පිටත්ව පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපොළේ නිලධාරීන් තමන්ට “ඉතා හොඳින් සලකූ” බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සැකකරුවන් පිරිස පැහැරගෙන යාමට විරෝධය පළකරමින් වඳුරඹ පොලිස් ස්ථානාධිපති පනංගල ලියනගේ කීර්ති සිංහ පසුගිය සඳුදා සිය නිල ඇඳුම් භාර දී පොලිස් සේවයෙන් ඉල්ලා අස්විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර