චන්ද්‍රිකාට ප්‍රහාරයක්

බේරුවල ප්‍රදේශයේ දී තමාට සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාර කරුවන්ගෙන් බාධා එල්ල වූ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.

මේ සිද්ධිය හට ගෙන ඇත්තේ ඊයේ සිකුරාදා බේරුවල ජනාධිපතිවරණ රැස්වීම් කිහිපයකට සහභාගි වීමෙන් අනතුරුව බේරුවල පදිංචි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජමීල් ගේ නිවසේ ආහාර ගැනීමට ගිය අවස්තාවේදීයි.

“අපි ඔක්කොමල ගියා අපේ රැස්වීම සංවිධානය කරපු පළාත් සභා මන්ත්‍රී තුමාගේ ගෙදර, ගෙදරට යන්න ඇතුල් කරන කොටම ඒ ගේ ඉස්සරහ ඉන්න ජනාධිපති තුමාට සහය දක්වන පිරිසක්, එතන හිටිය විස්සක් තිහක්, එතෙන්ට එස්ටීඑෆ් ගාර්ඩ් එක දාල හිටිය, ඒ ගෙදරට පොලිස් ගාර්ඩ් එක දාල හිටිය, ඒ ඔක්කොම ඉස්සරහ අපිට කෑ ගැහුවා, පරුෂ වචන කිව්ව, හූ තිබ්බ. එහෙම කරලා අපි ගේ ඇතුළට ගිහිල්ල කන අතරෙ සද්දයක් ඇහිලා බලන කොට අපි හිටපු ගෙදර ගේට්ටු කඩන්න හදල තිබුණ. ඊට පස්සේ අපි එලියට යන කොට මැඩම් ගෙ වාහනේට ගලක් ගැහුව” යනුවෙන් ඇය පැවසුවාය.

මේ සියල්ලටම මුලික වූ පුද්ගලයාගේ නම නො දන්නා බව පැවසූ හිරුණිකා ඔහු නගරාධිපති හෝ නගර සභාවේ මන්ත්‍රී කෙනෙකකු හෝ විය හැකි බව පැවසුවාය.

එස්ටීඑෆ්

දැනට රටේ පවතින තත්වය මෙය බව පැවසූ හිරුණිකා ඔබ කාගේ ආරක්ෂාවට සිටින අය දැයි එස්ටීඑෆ් නිලධාරියෙකුගෙන් විමසූ බවත් ඒ සඳහා පිළිතුරක් දීමට ඔහු අපොහොසත් වූ බවද පැවසුවාය.

පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජමීල්ට ද පහර දී ඇති අතර තවත් හතර දෙනක් තුවාල ලබා සිටිති.

පොලීසියට එල්ල කෙරෙන චෝදනා ගැන දන ගැනීමට පොලිස් ප්‍රකාශකයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර