යුද හමුදාව දේශපාලනයට එපා- ජවිපෙ

ජනාධිපතිවරණය සඳහා යුද හමුදාව යොදාගැනීම ඉතාම බරපතල තත්ත්වයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සෙනසුරාදා දහවල් වවුනියාවේදී පවසයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ උතුරු පළාතේ පවත්වන ලද මුල්ම රැස්වීම අමතමිනුයි ඔහු ඒ බව කියා සිටියේ.

තවදුරටත් කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතීතයේ සිදු නොවූ අන්දමට යුද හමුදාව දේශපාලන කටයුතු වලට යොදා ගෙන ඇති බවයි.

යුද්ධය අවසන් වී ඇතත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න වලට මෙතෙක් විසඳුමක් ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවත්, යුද්ධයෙන් උතුරේ මවුවරුන් 45000 ක් වැන්දඹු භාවයට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

දෙමවුපියන් අහිමි දරුවන්

දෙමවුපියන් අහිමි දරුවන් 2500 ක් තරම් උතුරේ වෙසෙද්දී ජනාධිපතිවරයාගේ දරුවන් විසින් සිදු කරණ ක්‍රියාවන් එළියට ඒම වැළැක්වීමට දැඩි මාධ්‍ය මර්දනයක් රට තුළ ක්‍රියාත්මක කොට ඇතැයිද අනුර කුමාර දිසානායක වවුනියාවේදී පැවසුවේය.

කේපී,කරුණා අම්මන්ද ,දයා මාස්ටර්ද එළිමහණේ ප්‍රභූවරුන් ලෙස කටයුතු කරද්දී ඔවුන්ගේ අණට එදා ක්‍රියා කළ තරුණයින් අද හිර ගෙවල්වල දුක් විදින බව පෙන්වා දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලබන ජනවාරි 8 වෙනිදායින් පසුව මේ සියල්ල එක්වරම විසඳී යන්නේ යැයි නොසිතන මෙන් ජනතාගෙන් ඉල්ලා සිටියේය.

එදිනට සිදු වන්නේ එක් සන්ධිස්ථානයකට පැමිණීමට හැකි වීම පමණක් බව කී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක රට හැදීම සඳහා සියලු දෙනා එක්වී විශාල කාර්යභාරයක් ඉන් අනතුරුව සිදු කළ යුතුව ඇතැයිද පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර