ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපිට ඉඩම් ලබා දෙන්න - බදුල්ලේ අවතැන් වූ ජනතාව

නාය යෑමේ තර්ජනයට මුහුණ පා සිටින බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්‍ෂිත ප්‍රදේශවලින් විකල්ප ඉඩම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිති.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිදු වූ නාය යෑම්වලට හසු වී මේ වන විට විසි හතර දෙනකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සංදේශයට පැවසුවේය.

රිදීමාලියද්ද සහ මහියංගණය හැර බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශීය කොට්ඨාශ සියල්ල නාය යෑමේ අවදානමට මුහුණ පා ඇති බවයි මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සංදේශයට කියා සිටියේ.

පවුල් සිය ගණනකට අයත් දහස් සංඛ්‍යාත පිරිස් නාය යෑමේ අවදානම හේතුවෙන් තම නිවෙස් හැර දමා ගොස් තාවකාලික කඳවුරුවල වෙසෙන බවයි මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

යළි පදිංචි වීම සඳහා ආරක්‍ෂිත ප්‍රදේශවලින් විකල්ප ඉඩම් ලබා දෙන මෙන් ඉල්ලා සිටි අවතැන්ව බදුල්ල නගරසභා ශාලාවේ රැඳී සිටින ගිනිගම වලස්බැද්දේ වැසියෙක් ආතර් හෙට්ටිආරච්චි.

ඉල්ලීමක්

නාය යෑමට හසු වී සිය නිවස සම්පුර්ණයෙන් විනාශ වූ බව පවසන ආතර් හෙට්ටිආරච්චි, තම පවුල ඇතුළු අසල්වැසි පවුල් හැටකට ප්‍රදේශය අතහැර පළා යෑමට සිදු වූ බවයි කියා සිටියේ.

‘ඒ හරියේ කිසි කෙනෙකුට ඉන්න බැහැ. ඉදිරියටත් එහෙම වෙන වාතාවරණයක් තියෙන්නේ. ඒ නිසා අපි බැගෑපත්ව කරුණාවෙන් ඉල්ලන්නේ අපිට ඉඩම් කෑල්ල කෑල්ල ලබා දෙන්න කියලා’ යැයි ආතර් හෙට්ටිආරච්චි වැඩි දුරටත් පැවසීය.

අවතැන් වී සිටින කන්දේශ් ගනේෂ් පැවසුවේ නාය යෑමේ ඉඩක් ඇති බවට තමා මීට පෙර කිහිප වතාවක් බලධාරීන්ට දන්වා සිටි නමුත් ඉන් ඵලක් නොවූ බවයි.

අවදානමට ලක් වී ඇති ප්‍රදේශවල වෙසෙන වැසියන්ට සහන සැලසීම සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සංදේශයට පැවසුවේය.