රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්‍රචාරයට 'සම්බන්ධ වෙලා'

Image caption 'පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්'

ආණ්ඩුකාරවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් සිටීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි නොවන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කොට තිබියදීත් බොහෝ රාජ්‍ය නිලධාරීන් එය නොතකා හැර තිබෙන අතර, එය වැළැක්වීමට මැතිවරණ බලධාරීන් අපොහොසත්වී ඇති බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පැවසීය.

එමෙන්ම ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම උත්සන්න වෙමින් පවතින බවද ඔහු කියා සිටියේය.

මේ වනවිට මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් 600 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව පවසන කැෆේ සංවිධානය, එයින් 54 ක්ම ප්‍රචණ්ඩ ක්‍රියා බව සඳහන් කරයි.

වීශේෂයෙන්ම එම ප්‍රචණ්ඩ ක්‍රියා අතරින් අති බහුතරය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර බවද කැෆේ සංවිධානය පවසයි.

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් හෙට සඳුදා ගාල්ලේ සංවිධානය කොට තිබෙන 'මහින්ද චින්තන - ලොව දිනන මඟ 2020 ගාල්ල' මැයෙන් යුත් රැස්වීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් පීබී ජයසුන්දර සහභාගි වීම පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවත් රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කළේය.

මෙම චෝදනාව පිළිබඳව විමසීම පිණිස මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර