ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පක්‍ෂ තීරණ ගන්නේ නාඩි අල්ලලා'

උතුරේ ඡන්ද ලබා ගැනීමට දරන උත්සාහය, දකුණේ ඡන්ද අහිමි වීමට හේතු වේදැයි යන බිය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම පවතින බව යාපනේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.

ඔහු මේ බව බීබීසීයට කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී උතුරේ ඡන්ද නිර්ණය වන ආකාරය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙමින්.

නාඩි

දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය උතුරේ ඡන්දදායකයාගේ තීරණයට බලපාන ආකාරය පිළිබඳව බීසීයේ තිසර රතුවිතාන කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ පවතින තත්වය ගැන ‘නාඩි අල්ලා බලා’ දේශපාලන පක්ෂ තීරණ ගන්නා බවයි.

‘උතුරේ ඡන්ද සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය මත නෙමෙයි. පවතින තත්වය පිළිබඳව හොයල බලල නාඩි අල්ලලා තමයි පක්ෂ තීරණය කරන්නේ කාටද සහයෝගය දෙන්නේ කියන එක.’

‘මෙතනදී සිද්ධ වෙන්නේ පොදු අපේක්ෂකයාට සහයෝගය දීමකට වඩා පවතින තත්වයට විරෝධය දැක්වීමක්. පොදු අපේක්ෂකයා වෙත තිබෙන පක්‍ෂපාතීත්වය පිළිබිඹු කිරීමක් නොවෙයි.’ යාපනේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පැවසීය.

පිල් මාරුව

පක්‍ෂවල පිල් මාරුව හෝ අපේක්‍ෂකයාගේ පසුබිම අනුව උතුරේ ඡන්ද තීරණය නොවන අතර පවතින තත්වයට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් එය ප්‍රකාශ වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. සම්පූර්ණ හඬ පටයට සවන් දෙන්න.

උතුරේ ජනතාව ඡන්දය වර්ජනය කළ හැකි බවට පවතින රාවයේ කිසිදු සත්‍යයක් නැති බවත් ඡන්දය පාවිච්චි කිරීම වැදගත් වන බවට මතයක් සමාජය තුළ මතු වෙමින් පවතින බවත් කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.

අපේක්ෂකයන් දෙදෙනාම දකුණේ වර්ධනය වී ඇති ජාතිවාදයට යටත්ව ක්‍රියාත්මක වන බැවින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට මොවුන් දෙදෙනාටම හැකියාවක් නැති බවද ඔහු ප්‍රකාශ කළේය.