ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුනාමිය: 'අම්මගේ මරණේ බලන්නවත් කවුරුවත් ආවේ නෑ'

සුනාමි රකුසා විසින් සිය මවුතුමිය බිලිගත් පසුව ඇයගේ මළගමට හෝ කිසිදු ඥාතියකු සහභාගි නොවූ අයුරු සුනාමියෙන් අනාථ වූ දිනුෂා මධුවන්ති අදත් සිහිපත් කරන්නේ ඇඬු කඳුලින්.

මළගමට නොපැමිණි ඥාතීන් ඉන් දින කිහිපයකට පසුව තමාත්, සිය නැගණියත් බලහත්කාරයෙන් කැඳවාගෙන යාමට තැත් කළ ආකාරයත් ඇයට මතකයි.

සීයලා ගේ කරදරයෙන් බේරීම පිණිස ඔවුන් සිය ඥාතීන් නොවන බව තරුණියන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට පැවසූහ.

ඔවුන්ගේ පියා ඉන් කලෙකට පෙරම මෙලොව හැර ගිහින්.

සුනාමි රකුසා එක්වරම ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ගිලගන්නා අවස්ථාවේ තමාත්, නැගණියත් නිවසේ සිට බලා සිටින අතරවාරයේ අම්මා කලපුවේ කොහු තලමින් සිටි ආකාරය ඇයට තවමත් මතකයි.

ඒ අවස්ථාවේ සුනාමියට ගොදුරු වූ දරුවකු බේරා ගැනීමට උත්සාහ කළ අම්මා දැඩි රළ පහර විසින් තල්ලු කර දැමූ අවස්ථාවේ හිස පොල් කොටයක වැදීමෙන් ඇය සිහිසුන් වූවාය.

එහෙත් එවකටත් ජීවතුන් අතර සිටි ඇය මාතර රෝහලට රැගෙන යාමට මුලින් දැරූ උත්සාහය අසාර්ථක වුනේ අසල පිහිටි පාලමද සුනාමිය විසින් විනාශ කොට දමා තිබීම හේතුවෙන්.

ඉන් අනතුරුව ඉතා දුෂ්කර මඟක් ගෙවා මාතරට ගෙන ගිය නමුත් සිය මවට නිසි ප්‍රතිකාර නොලැබුණු බවයි, දිනූෂා මධුවන්ති පවසන්නේ.

"මාතර ඉඳල ආපහු හරවගෙන එද්දී තමයි අම්මගේ පණ ගියේ. මායි, නංගියි දෙන්නම එතන හිටියා."

ඔවුන්ගේ මව මිහිදන් කෙරුනේ සුනාමියෙන් මෙලොව හැර ගිය තවත් එකොලොස් දෙනකු සමගින්.

27 හැවිරිදි ඇය අද එක් දරු මවක්.

ඇගේ අතගත් සැමියා, යුද්ධයෙන් අනාථ වී මාතර 'ඔබ මම ළමා නිවාසයේ' හැදී වැදුණු තරුණයෙක්.

තමා විඳි වේදනාව කිසිදිනෙක සිය දියණියට අත් නොවේවායි ප්‍රාර්ථනා කරන දිනූෂා මධුවන්ති, ඇයට නිසි අධ්‍යාපනයක් ලබා දී යහපත් අනාගතයක් සලසා දීම සිය එකම බලාපොරොත්තුව බවද හැඟුම්බරව කියා සිටියාය.

(සුනාමියෙන් දස වසරක් පිරීම නිමිති කොට බීබීසී සංදේශය වෙනුවෙන් සරෝජ් පතිරණ ඉදිරිපත් කරන වැඩසටහන් මාලාවකින්)