ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘මෑන් පවර්’ සේවක වර්ජනය පෙරට

ටෙලිකොම් ‘මෑන් පවර්’ සේවක වර්ජනයට අදට (03) දවස් හයක් ගතව ඇති නමුත් සේවක ඉල්ලීම් ඉටු නොකිරීම හේතුවෙන් වැඩ වැරුම දිගටම පෙරට යමින් පවතින බව වාර්තා වෙයි.

ටෙලිකොම් ‘මෑන් පවර්’ සේවකයන් තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් වැඩ වැරුම ආරම්භ කලේ ඉකුත් දෙසැම්බර් 29 වන දිනයි .

‘මෑන් පවර්’ සේවකයන් දෙදහස් හයසියයක් සිටින බව පවසන තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක රවින්ද්‍ර උපුල්, මේ වන විට තම වෘත්තීය ක්‍රියා මාර්ගය නතර කිරීම සඳහා බලධාරීන් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවක් ද අනාවරණය කරයි.

මේ විරෝධතාවට දිවයිනේ සෑම ටෙලිකොම් ආයතනයකින්ම සේවකයන් සම්බන්ධ වීම හේතුවෙන් ආයතනයේ වැඩ අඩාල වී ඇති බවත් තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක රවින්ද්‍ර උපුල් පවසයි .

ඊයේ (02)පෙරවරුවේ වෘත්තීය සමිති කීපයක නියෝජිතයන් තමන්ට සහාය පළ කිරීම සදහා එකග වූ බවයි තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවකයන්ගේ සංගමයේ ලේකම් ආර්. පී. ලංකාලෝක ප්‍රකාශ කරන්නේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනවාරි දෙවැනිදා දහවල් ටෙලිකොම් සේවකයන් හමු විය.

ජනවාරි අට වෙනි දිනට පසු නව ආණ්ඩුවක් යටතේ ‘මෑන් පවර්’ ක්‍රමය අහෝසි කරන බවට විපක්ෂ නායකයාගෙන් පොරොන්දුවක් ද ලැබිණි .

ටෙලිකොම් බලධාරීන් පවසන්නේ ‘මෑන් පවර්’ සේවකයන් තම ආයතනයට අයත් නොවන බවයි.