ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාත්‍යන්තරයට කියන්නේ රට බාල්දු කරන්න -කෙහෙලිය

ඉදිරි ජනාධිපතිවරණයේ දී යුද හමුදාව යොදා ගනිමින් උතුරු නැගෙනහිර ඡන්ද වැළැක්වීමට උත්සාහ කරන බවට විපක්ෂය නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් බව රජය පවසයි.

එවැනි දෙයක් සිදු වන බවට ඔප්පු කළ හැකි නම් එය මැතිවරණ කොමසාරිස්ට දැනුම් දෙනවා විනා එය ජාත්‍යන්තරයට කීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවයි කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කියා සිටියේ.

‘පාර්ලිමේන්තුවේදී වුවත් මොවුන් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඔය ජාත්‍යන්තරයට යම්කිසි පණිවිඩයක් දෙන්න... එහෙම දෙයක් වෙනවනම් මැතිවරණ කොමසාරිස්ට කියන්න ඕන. ජාත්‍යන්තරයට කියල මොනවා කරන්නද? එහෙම කියන්නේ ඔවුන්ගේ තියෙන අසික්කිත කම නිසා. රට බාල්දු කරන්න. රට අපකීර්තියට පත් කරන්න.’ කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය. හඬ පටයට සවන් දෙන්න.

'බංකොලොත් භාවය'

විදේශ තානාපතිවරුන් අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (01 දා) පැවසුවේ උතුරු නැගෙනහිර ඡන්ද වැළැක්වීම සඳහා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් යොදවා ගැනීමේ සැලැස්මක් ඇති බවයි.

‘ඒක මේ අද ඊයේ කළ දෙයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම ඒ අකාරයෙන් ක්‍රියාත්මක වෙන එක පැහැදිලියි. ජාතික වශයෙන් පවතින දේශපාලන බංකොලොත් භාවය ඔවුන් සපුරා ගන්න හදන්නේ ජාත්‍යන්තරයට කියල.’ ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේය.

කොම්පුටර් ජිල්මාට්

‘හොඳම උදාහරණය තමයි, 2010 ජනාධිපතිවරණයෙදී කිව්වා කොම්පුටර් ජිල්මාට් කියල. හැබැයි ඒකට සම්බන්ධ වෙච්ච අය විශේෂයෙන් ම මංගල සමරවීර කියනවා එහෙම දෙයක් වුණේ නැහැ කියල. ඒක අපි බොරුවට කියපු කතාවක් කියලා. ඒ වගේ තමයි, පරාජය පිළිගන්න බැරි වෙනකොට අම්පයර්ස්ල හොඳ නැහැ කියනවා වගේ වැඩක්.’ කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා තව දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදාව කිසි සේත්ම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදා ගෙන නොමැති බවද ඔහු අවධාරණය කර සිටියේය.