ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කේපී නීතිය හමුවට ගෙන එනවා - චම්පික

ශ්‍රී දළදා මාලිගාවට පහර දීමට සහ ඝාතනයන් සිදු කිරීම සඳහා අවි ආයුධ සැපයීමේ චෝදනා මත කුමාරන් පද්මනාදන් නීතිය හමුවට ගෙන එන බවට ජාතික හෙළ උරුමය මල්වතු මහා නාහිමියන් ඉදිරියේ ප්‍රතිඥා දෙයි.

‘ශ්‍රී දළදා වහන්සේ පුපුරවා හැරීම සඳහා අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය විදේශ වලින් සැපයූ, ඒ වගේම අපේ ජනතාව ඝාතනය කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ සැපයූ කුමාරන් පද්මනාදන් ඇතුළු දැනට රාජපක්ෂ ආණ්ඩුවේ රැකවරණය ලබන සියලුම ත්‍රස්තවාදීන්ට යුක්තිය ඉෂ්ට කරන බවටත් අපි පොරොන්දු වුණා’ යනුවෙන් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේය.

ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද ඉරිදා මල්වතු මහා නාහිමියන් හමු වී සාකච්ඡා කර තිබේ.

‘රටේ ඒකීයභාවය සුරැකීම සහ ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳ ජාතික හෙළ උරුමය තරම් විශ්වසනීය වෙනත් කිසිදු පක්ෂයක් නැති බව’ මල්වතු මහා නාහිමියන් පැවසුවේ යැයි සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කළේය.

‘මෛත්‍රී පාලනයක් යටතේ රටේ ඒකීයභාවයට හෝ භෞමික අඛණ්ඩතාවට කිසිදු තර්ජනයක් ඇතිවේ යැයි තමන් නොසිතන බවත් උන්වහන්සේ අපට ප්‍රකාශ කළා’ යනුවෙන් ජාතික හෙළ උරුමයේ මහලේකම්වරයා පැවසුවේය.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් රටේ ඒකීයභාවයට තර්ජන මතු විය හැකි බවට පැතිරෙන ප්‍රචාර මල්වතු මහා නාහිමියන් හමුවේ පැහැදිලි කළ බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේය.