ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපතිවරණය ප්‍රචණ්ඩ නැහැ - ඩලස්

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දෙස බැලීමේදී මෙවර ජනාධිපතිවරණය මත ප්‍රචණ්ඩත්වයේ මුද්‍රාව තැබිය නොහැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සඳුදා අලුයම වන විට සියලු පක්ෂවලින් පොලිසිය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තුන්සිය දාහතරක් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ.

එම පැමිණිලි තුන්සිය දාහතර අතරින් ‘බරපතළ ගනයේ’ සැලකෙන පැමිණිලි නවයක් පමණක් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

‘විශාල සාකච්ඡාවක් මේ මැතිවරණ ව්‍යාපාරය පුරාවටම දියත් වුනා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්. මේක ජාතික මැතිවරණයක්. ලංකාවේ දොළොස් දහස් විසි දෙකක් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු වෙන මැතිවරණයක්. ඒ නිසා මේ මැතිවරණය මත ප්‍රචණ්ඩත්වයේ මුද්‍රාව තියන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඒක මිථ්‍යාවක් බව ඔබට මනාව පැහැදිලි වෙනවා’ යනුවෙන් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පැවසීය.

මේ අතර සඳුදා රාත්‍රි දොළහ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු ප්‍රචාරක කටයුතු නතර කිරීමට ක්‍රියා කර ඇති බව මාධ්‍ය හමුවට එක් වී සිටි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේය.

‘සියලුම සංවිධායකවරු මැතිවරණ නීතිරීතිවලට අනුව මේ මැතිවරණය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාටත් පොලිසියටත් සම්පුර්ණ සහාය ලබා දෙනවා’ යනුවෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩි දුරටත් පැවසුවේය.