සෙන්දිල් තොන්ඩමන්ට වරෙන්තු

Image copyright Senthil Thondaman

ඌව පළාත් සභාවේ ඇමති සෙන්දිල් තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නා මෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා අද සඳුදා (ජනවාරි 05) වරෙන්තු නිකුත් කළේය.

තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදන සේවකයකුට පහර දීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බලමිනුයි ඉහත කී අධිකරණ නියෝගය නිකුත් කෙරුණේ.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නිරත වෙමින් සිටි ඇමතිවරයා තමාට පහර දුන් බවයි තැපැල් සේවක පෙරියසාමි ඥානසේකරන් බීබීසියට කියා සිටියේ.

‘මම කෝවිලේ සාමිට ලියුමක් දීල එනකොට වාහන තුනක් ආවා. ඒ වාහන නතර කරලා සෙන්දිල් තොන්ඩමන් ඇමතිතුමා මට කතා කළා. මම ඇමතිතුමා දන්නවා. ඇමතිතුමා මගෙන් ‘උඹ අයියද’ කියල අහල, වාහනෙන් බැහැල මට ගැහුවා. මූනට පහර දීමේදී ඔහුගේ ඇඟිල්ලක තිබුණ මුද්දකින් මගේ ඇහැට තුවාල සිදු වුනා’ පෙරියසාමි ඥානසේකරන් පවසයි.

ඉන් අනතුරුව තමා පොලිසියට ගොස් පැමිණිල්ලක් කර රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගත් බවත් පෙරියසාමි ඥානසේකරන් කියා සිටියි.

සිතාසි ලැබී නැහැ

එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී දෙමළ සේවය සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයාගෙන් විමසීමක් කළ විට ඇමතිවරයා කියා සිටියේ තමාට තවම නිල මට්ටමින් පොලිසියෙන් ගෝ අධිකරණයෙන් කිසිදු නොතීසියක් ලැබී නැති බවයි.

Image copyright Senthil Thondaman

එහෙත් ගැටුමක් සිදු වූ බව පිළිගන්නා සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයා පවසන්නේ, තමා සිදු කළේ එම ගැටුම නිරාකරණය කිරීමට මැදිහත්වීම වූ බවයි.

‘මේ පැමිණිල්ල කරන තැපැල් සේවකයා මාත් එක්ක ගිය රුපවාහිනී කැමරා ශිල්පියකු සමඟ ගැටුමක් ඇති කර ගත්තා. ගහ ගත්තා. මම ඔවුන් දෙපැත්තට කළා. මම මහජන ඡන්දයෙන් පත් වෙච්ච පළාත් සභා ඇමතිවරයෙක්. දෙන්නෙක් මහ පාරේ ගහ ගන්න කොට මට බලාගෙන ඉන්න බැහැ. මම ඔවුන් බේරුවා. ඒ වගේ අවස්ථාවක දී වෙන්නේ එක පාර්ශවයක් සතුටු වීම.අනිත් පාර්ශ්වය අසතුටු වීම’ සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයා පවසයි.

ඡන්ද ගැටුමක්

සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහුට එරෙහි පැමිණිල්ල ඉදිරිපත් කරන පෙරියසාමි ඥානසේකරන් බීමත්ව සිටි බවක් ප්‍රකාශ කළත් තැපැල් සේවකයා කියා සිටින්නේ තමා තරුණවියේ පටන්ම මත්පැන් පානය නො කරන අතර එසේ බීමත්ව සිටියා නම් එය වෛද්‍යවරුන් විසින් තේරුම් ගනු ලබන බවයි.

මේ අතර ප්‍රදේශයේ මාධ්‍යවේදියෙක් අදහස් දක්වමින් කියා සිටියේ, සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයා විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වූ ජන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ඔහු තැපැල් සේවකයාගෙන් සිදු කළ විමසීමකින් අනතුරුව පහර දී ඇති බවයි.

පහර දීමෙන් අනතුරුව ප්‍රදේශයේ වතුකම්කරුවන් කුපිතව මාර්ග අවහිර කළ අතර ඔවුන් විසින් ඇමතිවරයා වට කරනු ලැබීමේ තත්වයක් ද උද්ගත වූ බව එම මාධ්‍යවේදියා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර