ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘අපේ වේදිකාවේ එල්ටීටීඊයට සම්බන්ධ අය නැහැ’

තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ එල්ටීටීඊයට සම්බන්ධව සිටි කිසිදු පුද්ගලයෙකු නොමැති බව විපක්ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට පෙර පැවැත්වෙන සිය අවසාන මාධ්‍ය හමුව අමතමින්.

පොදු විපක්ෂය දෙමළ ඩයස්පෝරාව සමඟ ද කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

‘2005 දී දෙමළ ඩයස්පෝරාවට රුපියල් කෝටි පනහක් දීලා උතුරේ ඡන්ද වර්ජනය කළේ ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාවට. මෙවරත් මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ මැතිවරණය මෙහෙයවන පිරිස තමයි දෙමළ ඩයස්පෝරාව සමඟ එකතු වෙලා කටයුතු කරන්නේ. අපේ මැතිවරණ ව්‍යාපාරයේ හෝ වේදිකාවේ එල්ටීටීඊයට සම්බන්ධ අයෙක් හෝ ත්‍රස්තවාදී සංවිධානයක සිටි අයෙක් නැහැ.’ මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ෆොන්සේකා සහ අර්ජුන

මෙම මාධ්‍ය හමුව ඇමතූ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා කියා සිටියේ යුද ජයග්‍රහණයේ ගෞරවය හිමි විය යුත්තේ දිවි නොතකා සටනට ගිය හමුදාවට බවයි.

අර්ජුන රණතුංග මන්ත්‍රී වරයාද මෙහිදී සිය අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ කිසිදා රට පාවා නොදෙන බවයි.

‘මම ඉතා ඕනෑ කමින් ජනාධිපතිවරයාට කියනවා තුන් වැනි පන්තියේ දේශපාලනය කරන්න එපා කියල. සහෝදරයන්වත් කොටවන දේශපාලනයක් එතුමා කරන්නේ. මම ඉතාම වගකීමෙන් කියනවා මේ රටේ ජනතාවට මේ වේදිකාවේ ඉන්න කිසිම කෙනෙක් රට පාවලා දෙන්නෙත් නැහැ. මම මේ රට දාලා යන්නෙත් නැහැ.’ අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා පැවසීය.