ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපතිවරණය: උතුරේ දෙමළ ජනතාවගේ ස්ථාවරය?

ලක්ෂ හත හමාරකට අධික ඡන්දදායකයින් පිරිසක් සිටින උතුරු පළාතේ, යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය තුළ පමණක් ඡන්ද දායකයෝ ලක්ෂ පහකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිති.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උතුරේ දෙමළ ජනතාව විවිධ මත පළ කරති.

‘කවුරු ආවත් දෙමළ ජනතාවට ප්‍රශ්න තමයි. ඔවුන් ආවා කියලා අපට මොකුත් වෙන්නේ නෑ කියන එක අපට පේනවා’ යනුවෙන් සංදේශයට අදහස් දැක්වූ යාපනයේ කාන්තාවක් පැවසුවාය.

තවත් කාන්තාවක් කියා සිටියේ ‘මෛත්‍රී සුළු ජාතින් පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මොකුත් කියල නැහැ. කෙසේ නමුත් මහින්දගේ පවුල් පාලනය අපි නැති කර යුතුයි’ යනුවෙන්.

‘මහින්ද ගැන මම හරියට දන්නේ නැහැ. නමුත් ඔහුගේ කෘෂිකර්ම ඇමතිවරයා නම් හොඳයි. මහින්ද ආවා නම් හොඳයි කියල මම හිතනවා’ යනුවෙන් යාපනයේ විශ්‍රාමික වැසියෙක් පැවසීය.

තවත් වැසියෙක් අදහස් දක්වමින් කියා සිටියේ ‘අපි නම් ඡන්ද දාන්නේ මහින්දට විරුද්ධවයි. මේ මැතිවරණයේ දී යාපනයේ ඡන්ද වැඩි හරියක් මහින්දට විරුද්ධ ප්‍රකාශ වෙයි’ යනුවෙන්.

වර්ජනය?

කෙසේ නමුත් මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බව ඇතැම් දේශපාලන නායකයෝ උතුරේ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට ලබා දෙන විසඳුම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන අතර කිසිදු වෙනසක් නැති බවයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙඳ්‍රකුමාර් පොන්නම්පලම් සංදේශයට කියා සිටියේ.

උතුරු පළාත් සභාවේ බලය හිමි දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.

උතුරු පළාත් සභාවේ සභාපති සි.වි.කේ. සිවඥානම් සංදේශයට කියා සිටියේ දෙමළ ජනයා ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වන බවයි.

මේ අතර උතුරු පළාත් සභාවේ විපක්ෂනායක එස් තවරාසා නියෝජනය කරන ඊපීඩීපී පක්ෂයේ සහාය ලැබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂට.

‘මහින්ද රාජපක්ෂ සමග මෛත්‍රිපාල සිරිසේන සංසන්දනය කරන කොට මහින්ද රාජපක්ෂ හොඳයි කියල අපි හිතනවා’ යනුවෙන් උතුරු පළාත් සභාවේ විපක්ෂනායක තවරාසා පැවසුවේය.

'කලකිරීම'

මෙවර මැතිවරණයේ දී උතුරේ දෙමළ ජනතාවගේ වැඩි අවධානයක් දිනා ගන්නා කරුණු මොනවාද ?

උතුරේ ජනතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරී සිටින බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන් විද්‍යාදරන් සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේය.

‘යුද්ධය නිම කළ ආකාරය, ඒ සඳහා අනුගමනය කල කුරිරු මාර්ගය, යුද්ධයෙන් පසු ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා උනන්දු නොවිම, උතුරේ ඉඩම් මංකොල්ල කෑමට ඉඩ දීම වැනි කරුණු පිළිබඳ ජනතාවගේ අවධානය යොමු වෙනවා’ යනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන් විද්‍යාදරන් පැවසීය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පවතින බලවත් කලකිරීම පෙන්වීම සඳහා ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව යොදා ගනිමින් උතුරේ ජනතාව විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්. විද්‍යාදරන් වැඩි දුරටත් කියා සිටියේය.