ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අද සාමකාමියි - කැෆේ

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමෙන් පසු මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැති බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානය පවසයි.

නමුත් ප්‍රචාරණ කටයුතු අවසන් වීමට පෙර සඳුදා ස්ථාන ගණනාවකින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය.

‘වැඩිම අවධානය යොමු වෙච්ච සාහසිකම සිදුවීම තමයි රඹුක්කන ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් අතර ගැටීම. රාත්‍රියේ පැය හතරකට ආසන්න කාලයක් මේ ප්‍රදේශය පුරාම භීෂණකාරී තත්වයක් මතු කරන්න මේ ප්‍රහාරය හේතු වුනා’ යනුවෙන් ඔහු පැවසීය.

ගැටුමෙන් දෙපාර්ශවයේම ආධාරකරුවන් ගණනාවක් තුවාල ලබා ඇති බවත් පොලිසිය ගැටුම නැවැත්වීමට මැදිහත් නොවුණු බවට දෙපාර්ශවයම චෝදනා කරන බවත් රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කළේය.

මැතිවරණ නීති

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඡන්දදායකයන් වෙත බඩු භාණ්ඩ බෙදා දීම සහ මහජන දේපොළ අයතා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පැමිණිලි ලැබී ඇති බවයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට කියා සිටියේ.

‘විවිධ පහසුකම් සැලසීම, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් හරහා භාණ්ඩ බෙදා දීම, විවිධ පොරොන්දු බෙදා දීම, ලිපි ද්‍රව්‍ය බෙදා දීම ඇතුළු සිදුවීම් මේ කාරණා වලට ඇතුලත් වෙනවා’ යනුවෙන් ඔහු පැවසීය.

විවිධ උපක්‍රම භාවිතා කරමින් දිවි නැගුම සහ සමෘධි නිලධාරීන් වැනි රාජ්‍ය සේවකයන් විශාල වශයෙන් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නේ යැයි තමාට වාර්තා වී ඇති බවත් කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කළේය.

මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ඇති නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ පුවරු සියල්ල ඉවත් කිරීම දුෂ්කර කාර්යයක් වුවත් පහසුවෙන් ඉවත් කිරීමට හැකි විශාල ප්‍රමාණයේ ‘කටවුට්’ හෙවත් යෝධ දැන්වීම් පුවරු ඉවත් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන කටයුතු නොකිරීම කණගාටුවකට කරුණක් බවයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

'පක්ෂග්‍රාහී'

සමස්තයක් වශයෙන් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළ දා සිට මේ දක්වා කාලය දෙස බැලීමේදී නීතිය ක්‍රියාත්මක නොවීමේ අර්බුදයක් දක්නට ලැබුණු බවත් ඔහු පැවසුවේය.

‘පොලිසිය දැඩිව ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ග්‍රහණයට නතු වෙලා තිබෙන බව ඉතාමත් පැහැදිලියි. මේ තත්වය නිසා ඉතාමත් අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් වාර්තා වුනා. වළක්වා ගත හැකිව තිබූ ගැටුම්කාරී තත්වයන් වළක්වා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ’ යනුවෙන් කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය.

පොලිසිය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට නැගුණු චෝදනා මැතිවරණය පුරා සෑම දිස්ත්‍රික්කයකින්ම අසන්ට ලැබුණු බවයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් වැඩි දුරටත් සඳහන් කළේ.