යුද හමුදාව ස්ථානීය රාජකාරියේ - යුද හමුදා ප්‍රකාශක

Image copyright pccsl.lk

ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, සහ ගුවන් හමුදාව මැතිවරණ සංවිධාන ක්‍රියාවලියේදී හෝ මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලියේදී කිසිදු ආකාරයකින් දායක නොවන බව යුද හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ප්‍රකාශ කරයි.

එහෙත් තේරීම් භාර නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි දූපත්වල ඡන්ද පැවැත්වෙන අවස්ථාවල දී ඡන්ද පෙට්ටි මුහුදු මගින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නම් නාවික යාත්‍රා ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සූදානමින් සිටින බව ඔහු පැවසුවේය.

එසේම යම් හේතුවක් මත ගුවන් මගින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වන්නේ නම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම සේවය ලබා දීමට බලාපොරොත්තුවන බවයි ඔහු කියා සිටියේ.

ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන දක්වා ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් තේරීම් බාර නිලධාරීන්ගේ අභිමතය පරිදි නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ස්ථානීය රාජකාරී

සමහර ස්ථානවල ස්ථානීය රාජකාරී සඳහා යුද හමුදාව යොදවා තිබීම පිළිබඳ නැගෙන ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ස්ථානීය රාජකාරී වල නිරතව සිටි පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරියේ යොදවා ඇති නිසා එම ස්ථාන වලට යුද හමුදා භට පිරිස් යොදවා ඇති බවයි.

70,000 ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් මැතිවරණ රාජකාරියේ යොදවා ඇති නිසා යුද හමුදාවට එවැනි පියවරක් ගැනීමට සිදුවූ බවයි ඔහු පැවසුවේ.

මේ නිසා විශේෂ ස්ථාන ආරක්ෂාව සහ මාර්ග බාධකවල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මුදා හැර ඒ වෙනුවට යුද හමුදා නිලධාරීන් යෙදවූ අවස්ථා ඇති බව ඔහු සඳහන් කළේය.

දෙදහසකටත් වඩා අඩු පිරිසක් එවැනි පොලිස් නිලධාරීන් යොදවා සිටි රාජකාරී සඳහා යොදවා ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

නමුත් පොලීසිය විසින් ඉල්ලීමක් කළහොත් ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ සහය ලැබෙන බවයි යුද හමුදා ප්‍රකාශකයා පැවසුවේ.

ඒ හැර, යුද හමුදාව මැතිවරණයට අදාළ කිසිදු රාජකාරියක නොයොදන බවයි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය තවදුරටත් පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර