බ්‍රිටෝ ඇතුළු තිදෙනෙකුට මරණ තර්ජන

Image caption බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින්

‘වීදියේ විරෝධය’ නම් සංවිධානයට සම්බන්ධව කටයුතු කරන තමන්ට මෙන්ම තවත් මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු සහ පිලිප් දිසානායක යන දෙදෙනාටත් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී තිබෙන බව සිවිල් සමාජ ක්‍රියාධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.

ජනතා අයිතීන් සුරැකීම වෙනුවෙන් ඔහු ගෙනයන විරෝධතාවන් නුස්රුස්සන්නන් විසින් ඔහුගේ නිවසේ ගේට්ටුවේ මරා දැමූ සුනඛයෙකු ගේ හිසක් එල්ලා ගොස් තිබුණේ පසුගිය 05 වැනිදායි.

මරණීය තර්ජන

“මට අද හැන්දෑවේ 1.37 ට 0775875216 යන දුරකථනයෙන් කතා කළා. මට මරණීය තර්ජන එල්ල කළා. ඊට පස්සෙ ප්‍රසංග නමැති අයට කතා කරලා තිබුණ. 13.39 ට මේ නම්බර් එකෙන්ම.” යනුවෙන් සිදුවීම පිළිබඳව සංදේශයට තොරතුරු හෙළිකරමින් කතා කළ බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසුවේ පිලිප් නමැති ක්‍රියා ධරයාට ද කතා කිරීමට ඔවුන් උත්සාහ කර තිබුණද පිලිප් නිවසේ නොසිටි බැවින් එය අසාර්ථක වූ බව ප්‍රසංගට දුන් දුරකථන ඇමතුමින් හෙළිවන බවයි.

ඉන්පසු සංදේශය බ්‍රිටෝ ප්‍රනාන්දු ගෙන් විමසා සිටියේ එම දුරකථන ඇමතුම් දුන් පුද්ගලයන් පැවසුවේ කුමක්ද යන්නයි.

එයට පිළිතුරු දුන් බ්‍රිටෝ ප්‍රනාන්දු “උඹල උඩපනිනවා වැඩියි. උඹල ඉන්න තැන් ගෙවල් දොරවල් සේරම අපි දන්නව. තව දවස් දෙකකින් උඹලට සිද්ධවෙන දේ බලාගනිල්ල වගේ පණිවුඩයක් තමයි මට දුන්නෙ. නමුත් ප්‍රසංගට දුන් පණිවුඩේ පැහැදිලිව කියල තියනව ඔවුන්ගෙ දරුවන් ඉන්නෙ පිටිපන, පිලිප් ගේ දරුවන් ඉන්නෙ වෙස්ලි කොලේජ් එකේ, ඒවා සේරම දන්නව, ඉන්න තැන් දන්නව, තව දවස් දෙකයි දෙන්නෙ, ඉස්සෙල්ලම ප්‍රසංගට තමයි හිරිහැර කරන්නෙ,අනිත් උන්ට පාඩමක් උගන්වන්ඩ, කියල” යනුවෙන් දුරකථන ඇමතුමෙහි අන්තර්ගතය පිළිබඳව දීර්ඝව විස්තර කළේය.

පවුල්වල අයට සහ දරුවන්ටත් තර්ජන

ප්‍රසංගව පැහැර ගැනීමෙන් පසු ඔහු ගෙන් තොරතුරු ලබාගන්නා ආකාරය දන්නා බව පවසා ඇති ඇමතුම් කරුවා, මීට වඩා ලොකු මිනිස්සු, කතා නො කරපු අය ගෙන ගොස් කරවා ඇති හෙයින් අනෙක් අයට පාඩමක් උගන්වන්න ප්‍රසංග ගෙන් පටන්ගන්නා බවද පවසා තිබේ.

ක්‍රියා ධරයන් තිදෙනාට පමණක් නොව ඔවුන් ගේ පවුල් වලට සහ දරුවන්ට ද හිරිහැර කරන බවට තර්ජනය කළ අතර මෙසේ තර්ජනාත්මක ඇමතුම් ලැබීමට හේතු වුයේ වීදියේ විරෝධය හරහා ජනතාව ඇමතීම බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කළේ.

ඔහු පවසන ආකාරයට ප්‍රසංග ප්‍රනාන්දු ට ලැබුණු දුරකථන ඇමතුම ඔහු විසින් පටිගත කොට තිබුණු අතර සංදේශය වෙනුවෙන් එය වාදනය කර දැක්වීමට ද කටයුතු කළා.

මේ එම ඇමතුමේ අන්තර්ගතයෙන් කොටසක්;

ප්‍රසංග - හලෝ !

ඇමතුම් කරු - හලෝ ! කවුද කතා කරන්නෙ?

ප්‍රසංග - ඔයා කවුද ?

ඇමතුම් කරු - මම කවුද කියල දැනගන්න පුළුවන් හෙට අනිද්දට.

ප්‍රසංග - ඔයා කවුද කියන්ඩකො කතා කරන්නෙ.

ඇමතුම් කරු - කවුද කියල ඇවිල්ල පෙන්වන්නම්. කෝ අර පිලිප් කියන එකා මොකද පෝන් එක උස්සන්නෙ

නැත්තෙ? ප්‍රසංග - කවුද?

ඇමතුම් කරු - ඇයි අර ඉන්නෙ පිලිප් කියල එකෙක්

ප්‍රසංග - ඔයාට කාටද කතා කරන්න ඕන කියන්ඩකො

ඇමතුම් කරු - උඹල ඔක්කොටම කතා කරනවා ළඟදීම. ගෙවල් වලට කතා කරලා මල් වැඩම එහෙම ලෑස්තිකරලා තියා ගැනිල්ල. හරිද ? උඹල අපිට අරින්න නේ එන්නෙ. උඹ හිතුවද අර අනුරාධපුරේ පොලීසියේදී වගේ අනිත් ඒවත් උඹට ඕන විදියට හැදෙයි කියල. උඹට ළමයි ගෑනු ඉන්නවානේ. උඹට තමයි දෙන්නෙ ලොකු එවුන්ගෙ ඇස් ඇරෙන්න

මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කරන බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර