ඡන්ද විමසීමට සියල්ල සුදානම්

Image caption මෙවර මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල කිසිදු නීති විරෝධි ක්‍රියාවකට ඉඩ නොතබන බවයි බලධාරීන් පවසන්නේ

හෙට, ජනවාරි 8 වැනිදා දිවයින පුරා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් සිදු කිරීමට නියමිත සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව සංදේශයට වාර්තාවෙයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසිමේ කටයුතු සදහා අවශ්‍ය ඡන්ද පට්ටි රැගෙන ගියේ රත්නපුර නව නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කාර්මික විද්‍යාලය සහ හෝටල් පාසල යන ස්ථාන වලින් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පවසන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන වල සේවය සඳහා පිටත්ව යන නිලධාරින්ගේ ඒ පිලිබඳ විශාල උනන්දුවක් දක්නට ලැබුණු අතර උදෑසන හතර වන විට නිලධාරින් නියමිත ස්ථානවලට වාර්තාකර තිබුණි.

'නීති විරෝධී ක්‍රියාවලට ඉඩක් නැහැ'

ඡන්ද පෙට්ටි රැක ගැනිම ස්‍රදහා පොලිස් නිලධාරීන් මෙවර විශාල උනන්දුවක් පෙන්නුම් කිරිම කැපී පෙනුණු අතර එක් ඡන්ද මධ්‍යස්ථානයක ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දෙදෙනා බැගින් ඡන්ද පෙට්ටි බාරව ගමන් කළ බවයි පැවසෙන්නේ.

ඡන්ද රාජකාරී සදහා ලංගම බස් රථ මෙන්ම, පෞද්ගලික බස් රථත්, පෞද්ගලික වෑන් සහ වෙනත් වාහනත් යොදා ගෙන තිබුණි.

මෙවර මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල කිසිදු නීති විරෝධි ක්‍රියාවකට ඉඩ නොතබන බව රත්නපුර දිස්ත්‍රික්කය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සි. පෙරේරා පැවසුවේය.

මුහුණු පරීක්ෂාවකින් සිය නිලධාරීන් සෑම ඡන්දදායකයෙකුගේ ම අනන්‍යතාව තහවුරු කරගනු ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා ඡන්දය දැමිමේදී අනන්‍යතාව තහවුරු කිරිම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

ඡන්ද දායකයන්ගේ මුහුණු පරීක්ෂාවක්

‘‘හැදුනුම්පතේ ඉන්න කෙනාමද ඡන්ද පොළට ආවේ කියලා මුහුණු පරීක්ෂාවක් මෙවර සිදුකෙරෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා ඒ උපදෙස් අපි සියලු දෙනාට දීලා තියනවා. අපි හිතමු හොර ඡන්දයක් හෝ වැරදි විදියට වෙනත් කෙනෙකුගේ ඡන්දයක් ඡන්ද මධ්‍යස්ථානයට ඇවිත් දාන්න අදහස් කරලා තියනවානම් ඒක කිසිසේතම සිද්ධවෙන්නේ නෑ ‘‘යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඡන්ද පෙට්ටියට කොළයක් දමා ඡන්ද පත්‍රිකාව එලියට ගෙන යන්නට යමෙක් අදහස් කරනවා නම් ඒ සදහා කිසිදු ඉඩක් නොතබන බවද ඔහු අවධාරණය කළේය.

‘‘ඡන්ද කුටියතුල ඡන්දදායකයාගේ හැසිරීම නිරීක්ෂණය වන විදියේ වැඩපිලිවෙළක් යොදලා තියනවා. ඒ කියන්නේ ලකුණු කරපු ඡන්ද පත්‍රිකාවම ඡන්ද පෙට්ටියට ඇතුළත් කරනවද කියන එක පරීක්ෂා කරන්න ඒ විදියේ වැඩපිලිවෙළක් ඡන්ද මධ්‍යස්ථානවල සුදානම් අපි කරලා තියනවා‘‘ යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙවර මැතිවරණයේදී මැතිවරණ නීති ඒ ආකාරයෙන්ම ආරක්ෂාවන අන්දමට නීතිය ක්‍රියාත්මක කිරිමට ඡන්ද මධ්‍යස්ථාන බාර නිලධාරින්ට උපදෙස් දි ඇතිබවද රත්නපුර දිස්ත්‍රික්කය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සි. පෙරේරා පැවසුවේය.

'මඩකලපුවේ ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ'

මඩකලපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු භාර නිලධාරීන් පවසන ආකාරයට ජනපතිවරණය සඳහා සියලු කටයුතු සම්පූර්ණ වී ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් තුන්ලක්ෂ හැටපන්දහස් එකසිය හැටහත්දෙනෙකු ජන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර මේ අය සඳහා ජන්ද මද්‍යස්ථාන 414 කට ජන්ද පෙට්ටි හා නිලධාරීන් යවා ඇතැයි මඩකලපුව මැතිවරණ තේරීම් බාර නිලධාරි පි.එම්.එස්. චාර්ල්ස් පැවසීය.

ජනාධිපතිවරණය නිමිත්තෙන් විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව මැතිවරණ නිලධාරීන් සඳහන් කරන අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැති බවයි පැවසෙන්නේ.

'සන්ධාන කාර්යාල වහලා නැහැ'

එසේවුවද, මඩකලපුව දිස්ත්‍රිකයේ ඇතැම් ස්ථානවල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල මැතිවරණ නීති උල්ලංඝණය කරමින් තව දුරටත් ක්‍රියාත්මක වන බව පොදු විපක්ෂය චෝදනා කරයි.

මැතිවරණ නීතිය අනුව දිස්ත්‍රික් කාර්යාල හැර අනිකුත් ප්‍රාදේශීය කාර්යාල ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව වසා දැමිය යුතුය.

නමුත් ඇතැම් ස්ථානවල ඇති කාර්යාල එසේ වසා නොදමා ක්‍රියා කිරීම පිලිබඳ මැතිවරණ තේරීම් බාර නිලධාරියාට හා පොලිසිය ඇතුළු අදාළ පාර්ශවයන්ට තමා පැමිණිලි කළ බව පොදු විපක්ෂයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන අ. සෙල්වෙන්ද්‍රන් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර