ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා;ගෝනපොල ගිනි තැබීමක්

හොරණ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී අජිත් නාගමුවගේ නිවස ඉදිරිපිට නතර කර තිබුණ ලොරි දෙකකට ගිනි තබා විනාශ කර දමනු ලැබ ඇත.

ඊයේ (ජනවාරි 06)මධ්‍යම රාත්‍රියේ ලොරි දෙකට ගිනි තබා ඇති අතර අලුයම තුන පමණ වන තෙක් රථ දෙක දැවෙමින් තිබුණ බවයි වාර්තා වන්නේ.

අසල්වාසීන්ගේ ද ආධාර ඇතිව ජලය යොදා ගනිමින් ලොරි දෙක බේරා ගැනීමට යත්න දැරූ නමුත් ඒවා විනාශ වූ බව හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් නාගමුව මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ගිනිබත් කරනු ලැබ ඇති ලොරි දෙකෙන් එකක් මන්ත්‍රීවරයාට අයත් වන අතර දෙවැන්න ඔහුගේ මිතුරකුට අයත් වූවකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මොරගහහේන පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇත.

අපරාධකරුවන් සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයන් ද යොදා ගෙන තිබුණි.

එහෙත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත්ව ඇති බවයි වාර්තා වන්නේ.