'මැතිවරණ කොමසාරිස්ටත් පොලිසියටත් තුති'

Image copyright EPA

ඡන්දය ප්‍රකාශ වන දිනයේ දී ප්‍රචණ්ඩත්වය අවම මට්ටමින් පවත්වා ගෙන යාම සඳහා එඩිතර තීරණ ගනිමින් කටයුතු කිරීම ගැන මැතිවරණ කොමසාරිස්වරයාටත් පොලිස්පතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියටත් ස්තුතිවන්ත වන බව පැෆරල් ආයතනය පවසයි.

ප්‍රදේශ කිහිපයකින් සුළු සිද්ධීන් වාර්තා වී ඇති නමුත් මෙවර ඡන්දය සාපේක්ෂ වශයෙන් සාමකාමී තත්වයක පැවතුණු බවයි මැතිවරණය නිරීක්ෂණය කළ පැෆරල් ආයතනයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසීයට කියා සිටියේ.

එඩිතර ක්‍රියා මාර්ග

‘අපි සතුටු වෙනවා අද දිනය තුළ ප්‍රචණ්ඩත්වය යම් ප්‍රමාණයකට අවම මට්ටමක පවත්වාගෙන යාමට හැකි වීම පිළිබඳව. මේ ගැන අපි ඇත්තටම මැතිවරණ කොමසාරිස්වරයාටත් විශේෂයෙන්ම පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවටත් ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි. ඔවුන් අවසාන දින කිහිපය තුළ බොහෝ එඩිතර ක්‍රියා මාර්ග ගනිමින් ගැටුම්කාරී තත්වයන් වළක්වන්නට මැදිහත් වීම් සිදු කරනවා අපි දැක්කා.’ පැෆරල් ආයතනයේ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

Image copyright paffrel.com

පැෆරල් ආයතනය මගින් රට පුරා නිරීක්ෂකයන් දහතුන් දහසක් පමණ යොදවා තිබුණු බවයි ඔහු කියා සිටියේ.

‘සිද්ධීන් වශයෙන් ගත්තොත් එකසිය හතළිස් හතරක් පමණ අපට වාර්තා වුනා. ඉන් වැඩි ප්‍රමාණයක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ. අත් බෝම්බ ප්‍රහාර දෙකක් යාපනයෙනුත් වව්නියාවෙනුත් වාර්තා වුනා. පහර දීමේ සිද්ධීන් හයක් ගාල්ල, අත්තනගල්ල, අනුරාධපුර, අම්පාර ආදී ප්‍රදේශවලින් වාර්තා වෙනවා. ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදීම් වතා වුනා ගාල්ල හා රත්නපුර ප්‍රදේශවලින්. ඡන්දදායකයන් පලවා හැරීම් මහනුවර, නාවලපිටිය, මුලතිව්, යාපනය ප්‍රදේශවලින් වාර්තා වුනා.’ පැෆරල් ආයතනයේ රෝහණ හෙට්ටිආරච්චි තවදුරටත් කියා සිටියේය.