ජනපති පරාජය පිළිගනියි

Image copyright AFP

ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පරාජය පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

තමන් ජනතා මතයට ගරු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, සිකුරාදා උදෑසන 6:30 ට අරලියගහ මන්දිරයෙන් පිටව ගියේය.

ඊට පෙර සාමකාමී ලෙසින් බලය පැවරීම පිළිබඳව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කොට බලය පැවරීමේ ඉදිරි කටයුතු මෙහෙයවන මෙන් විපක්ෂනායකවරයා ගෙන් ඉල්ලීමක් කළේය.

පිටව යාමට පෙර අරලියගහ මැදුරේ සේවකයන් කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔවුන් සියලු දෙනාටද ස්තුති කළේය.

නාමල් රාජපක්ෂ

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට දුරකතනයෙන් අමතා ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ.

‘ගතව ගිය කාලය තුළ අපට ආධාර කළ සියලු දෙනාට ස්තුතියි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා හඬට අපි ගරු කරන්නෙමු’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ‘ට්වීටර්’ පණිවිඩයක සඳහන් කරයි.