නව ජනපතිට නිදහස් සන්ධානයේ සහයෝගය

Image copyright mwsd.gov.lk
Image caption ‘දින සියයේ වැඩ පිළිවෙල’ ට සහයෝගය ලබා දෙන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘දින සියයේ වැඩ පිළිවෙල’ ට සහයෝගය ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ නව ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති ව්‍යවස්තානුකුල වෙනස්කම් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ විට එයට සහය පළ කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් පක්ෂ හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ ඔහු ‘පාර්ලිමේන්තුවේ බහුතරය හැටියට අපි මේ දින සියයේ වැඩසටහනට සහය දෙනවා’ යනුවෙන් ඔහු පැවසීය.

ඔහු පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බාර දෙන රට පැවතුන රජය බාර ගත් රටට වඩා වෙනස් රටක් බවයි.

එම අවස්ථාවේදී රටේ සමහර ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදය පවා නොතිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පලි ගැනීම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා බලයට පත් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ පරාජයෙන් පසු නිදහස් සන්ධාන පාක්ෂිකයන්ගෙන් පලි ගැනීම් නො කරන ලෙසයි.

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂයාට ජනතාව ඡන්ද ප්‍රකාශ කළේ දින සියයේ වැඩපිළිවෙල පාදක කර ගෙන බව ඔහු සඳහන් කළේය.

ජනතාව එය පූර්ණ වශයෙන් අනුමත කොට ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

එයට අවහිර කිරීමට සූදානම් නැති බවත් එකඟ විය හැකි කරුණු වලට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේය.

හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් කියා සිටියේ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ විය හැකි කරුණුවලට සහයෝගය ලබා දීමට පැකිලෙන්නේ නැති බවයි.

රටේ ඒකීය භාවය

රටේ ඒකීය භාවය වෙනුවෙන්, ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් සහ රටේ සංවර්ධනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආරම්භ කළ ජනතා හිතවාදී වැඩසටහන් ඉදිරියටත් කර ගෙන යනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

2005 වන විට රටේ හමුදාව අසරණ තත්වයක සිටි බවත් ඔවුන් දැන් ධෛර්යය සම්පන්න ආත්ම ශක්තියෙන් යුත් අභිමානවත් හමුදාවක් බව විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පරද්දන්න නොහැකි බව පැවසූ සතුරකු පරාජයට පත් කල එම හමුදාවට අවමානයක් ඇති වන කිසිවක් උතුරේ හෝ නැගෙනහිර හෝ වෙනත් කිසිදු ප්‍රදේශයක සිදුවන්නට ඉඩ නොතබන ලෙස ඔහු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර