ජාතික ආණ්ඩුවකට එක්වන්න - ජනපතිගෙන් ආරාධනා

Image copyright AP

ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් සදාචාර සම්පන්න යහපාලනයෙන් සහ නීතියේ ආධිපත්‍යයෙන් සුපෝෂිත දේශයක් බිහි කිරීම පිණිස සර්ව පාක්ෂික හෙවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළේය.

ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව දුන්නේ මහනුවර ඓතිහාසික පත්තිරිප්පුවේ සිට ජාතිය අමතා කතා කරමින්.

කොළඹ සිට රථ පෙරහරකින් මහනුවර කරා ලඟා වූ නව ජනාධිපතිවරයා, ඒ අතරවාරයේ හොරගොල්ලේදී බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය ඇමතුවේ මල්වතු, අස්ගිරි මහනායක හිමියන්ද බැහැ දැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි.

'රජෙක් එපා'

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් දින සියයේ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාවට නගන බවට යලිත් ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා, විධායක ජනාධිපති සතු අසීමිත බලතල පාර්ලිමේන්තුවටත්, කැබිනට් මණ්ඩලයටත්, ස්වාධීන කොමිෂන් සභාවලටත් පවරණ බව යලිත් අවධාරණය කළේය.

නව පදවියේ දිවුරුම් දුන් අවස්ථාවේ ප්‍රතිඥා දුන් පරිදි යලිත් වරක් ජනාධිපතිවරණයකට තරඟ නොකරන බව අවධාරණය කළ ඔහු, මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබෙන්නේ සැබෑ ජනතා සේවකයකු බවද සඳහන් කළේය.

"අපේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව, සැබෑ මිනිසෙක් බව මා සඳහන් කරමි," යනුවෙන් ඔහු කියා සිටියේය.

විරුද්ධවාදීන්ට හිරිහැර නොකට සාමකාමීව, සන්සුන්ව කටයුතු කරන මෙන් සියලු ශ්‍රීලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, මනුෂ්‍යත්වයෙන් පිරි ප්‍රබුද්ධ සමාජයක් බිහි කිරීමට කැප වන බවට ප්‍රතිඥා දුන්නේය.