ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හොරුන්ට යන්න දෙන එක මෛත්‍රී පාලනයද? රන්ජන්

චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයන් රටින් පිටව යාම වැළැක්වීමට වහාම පියවර ගත යුතු බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බීබීසීයට කියා සිටියි.

අල්ලස් සහ දූෂණ කොමිසමේ චෝදනා පවතින දේශපාලනඥයන් පිරිසක් රටින් පලා යාමට සුදානම් වන බවත් ඊට පෙර ඔවුන් ගේ විදේශ ගමන් බලපත්‍ර අහෝසි කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

'නැව් හයක් තියෙනවා'

‘කවුරු හරි කියනවනම් හොරුන්ව ආරක්ෂා කරන එක මෛත්‍රී දේශපාලනය කියල මම ඒකට විරුද්ධයි. හොරුන්ව රකින එක, හොරුන්ට එයාර් පෝට් එකෙන් යන්න දෙන එක, ඒක මෛත්‍රී දේශපාලනයද? අද ඉන්නවා මම දන්නා එක ඇමතිවරයෙක්, එතුමාට චොපර් හතරක් තියෙනවා. නැව් හයක් තියෙනවා. මේ කව්ද කියල තමුන්නාන්සේලා දන්නවා. ඉතින් එයත් පැනල ගියොත්?’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසීය.

අභිනව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ‘ශීලාචාර කම වැඩි’ බවත් මහත්මා දේශපාලනය කළ යුත්තේ මහත්වරුන් සමඟ මිස හොරුන් සමඟ නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායක කියා සිටියි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය මෙම පිටුවේ අමුණා ඇත.

'තිත්ත ඇත්ත'

‘අපේ ගෞරවනීය ජනාධිපතිතුමා සහ අගමැති තුමා පරාජිතයෙකුට සලකන හැටි අපි දැක්කා. තමුන්නාන්සේලා දෙන්නගෙන් අපි ශීලාචාර දේශපාලනයක් බලාපොරොත්තු වෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. නමුත් මෙහෙම යන්න ගියොත්? මේ දේ ඉඩි අමීන් පවා කළා. ඔහු රටින් පැන ගොස් සැප වින්දා. ටියුනීසියාවේ බෙන් අලිගේ බිරිඳ ඩොලර් කෝටි ගානක් සහ රත්තරන් කිලෝ එක්දහස් හත්සීයක් රැගෙන පලා ගිහින් අද සැපට ජීවත් වෙනවා.’

‘මම මේ කියන දේවල් මට අවාසි වෙන්න පුළුවන්. නමුත් මං එදා ඉඳලා තිත්ත ඇත්ත කතා කළා. මට වන් ෂොට් කියල කිව්වා ජනතාව. තිත්ත ඇත්ත කතා කරන්න කියල තමයි පාර්ලිමේන්තුවට යැව්වේ.’ රන්ජන් රාමනායක තවදුරටත් බීබීසීයට පැවසීය.