ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දූෂිතයන්ට තනතුරු දෙන්න එපා -හරින්

නව ආණ්ඩුවක් තැනීම සඳහා දූෂිත මැති ඇමතිවරුන් එක් කර ගැනීම පිළිබඳව තමා ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව පක්ෂ නායකත්වයට මේ වන විටත් දැනුම් දී හමාර බවයි ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ.

‘අපි දිගින් දිගටම විවේචනය කරපු මිනීමරුවෝ, දූෂකයෝ, වංචා කාරයෝ මේ ආණ්ඩුවටත් එකතු වෙනවනම් අපි ජනතාවට ලබා දීපු පොරොන්දුව පුස්සක් වෙනවා. මං පෞද්ගලිකව ඒ සම්බන්ධයට එකතු වෙන්න කැමති නැහැ. එහෙමනම් තරුණයෙක් හැටියට මට මගේ දෙයක් බලා ගෙන ජීවිතය වෙනත් අතකට යොමු කර ගන්න පුළුවන්. මොකද මේ දේශපාලනය බොරුවක් හැටියට ඉස්මතු වෙනවා ඒ දේවල් සිද්ධ වුනොත්.’ හරින් ප්‍රනාන්දු පවසයි.

දින 100

දින සීයේ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට බහුතරය එක් කර ගත යුතු නමුත් දූෂිතයන්ට තනතුරු දීම සිදු නොවිය යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙවැනි වාතාවරණයක් හමුවේ මෛත්‍රී පිල බිඳ වැටීමේ ලකුණු පහළ වී ඇත්දැ’යි බීබීසීය කළ විමසීමේ දී ඔහු කියා සිටියේ මෙය තමාගේ පෞද්ගලික මතය වන අතර තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මේ පිළිබඳව තමා තුළ කනස්සල්ලක් පවතින බවයි.

කරුණා අම්මාන්

‘කරුණා අම්මාන් කියන්නේ අපි වේදිකාව තුළ නිරන්තරයෙන් චෝදනාවට ලක් කළ පුද්ගලයෙක්. එවැනි කෙනෙක් මේ ආණ්ඩුවට ඇවිල්ල තනතුරක් රකිනවනම් මට එතැනදී විශාල ප්‍රතිපත්තිමය ගැටළුවක් මතු වෙනවා. අපිට ප්‍රතිපත්තියක් කියල දෙයක් තියෙන්න ඕනෙ.’ ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු කියා සිටියේය.

‘තරුණයෝ මේ රටේ විශාල වෙනසක් කරන්නට මුල පිරුවා. මේ තරුණයෝ විශේෂයෙන්ම බලාපොරොත්තු ඇති කර ගත්තේ අවංක නිහතමානී පිරිසිදු දේශපාලනයක්. ඒ පිරිසිදු දේශපාලනය මේ රටට ලැබෙන්නේ නැතිනම් මං විශ්වාස කරන්නේ අපි අලුත් ස්ථාවරයක් හදා ගත යුතුයි කියලා.’ එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු තවදුරටත් ප්‍රකාශ කළේය.