හරීන්ට බහුතර බලයක්?

ඌව පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දුට මහඇමතිකම ලබා දීමට සහය පල කරමින් දිවුරුම් ප්‍රකාශ ලබා දෙති.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සහය පළ කරමින් එජාපයෙන් ඉවත්ව සන්ධානයට ගිය එක්සත් ජාතික පක්ෂයේ ජානක තිස්සකුට්ටිආරච්චි ද විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දුට සහයෝගය දක්වන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබිණ.

ඉකුත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ඌව පළාත් සභාවේ සංයුතිය වී තිබුණේ සන්ධානයට 19 ක්, එජාපයට 13 ක් හා ජවිපෙට 2 ක් වශයෙන් වුවත් එක්සත් ජාතික පක්ෂයේ ජානක තිස්සකුට්ටිආරච්චි එක්වීමත් සමඟ මන්ත්‍රී සංයුතිය 20 දක්වා ඉහල ගොස් තිබුණි.

එහෙත් අද පළාත් සභාව රැස්වූ විට පැමිණ සිටියේ 11 දෙනකු පමණි.

විපක්ෂයෙන් පැමිණ සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු පැමිණ නොසිටි අතර ඔවුන් ද විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු සමඟ ආණ්ඩුකාර නන්ද මැතිව් මුණ ගැසීමට ගොස් සිටියහ.

එම පිරිස සමඟ නොගියත් ජානක තිස්සකුට්ටිආරච්චි සහ ඉකුත්දා එක්සත් ජාතික පක්ෂයට එක්වූ වඩිවේල් සුරේෂ් යන මන්ත්‍රීවරුද මහා ඇමතිවරයා හමුවී විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දුට සහය දෙන බවට දිවුරුම් ප්‍රකාශ ලබාදී තම ස්ථාවරය ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ.

විපක්ෂයට එක්ව සිටින කණ්ඩායම අතර පළාත් සභාවේ කෘෂිකර්ම හා සංචාරක ඇමති අනුර විදානගමගේ ද වෙයි.

මේ වන විට තමන්ට පළාත් සභාවේ බහුතර බලයක් ලබා ගැනීමට මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සහය දක්වන නිසා මහා ඇමතිධුරය තමන්ට ප්‍රදානය කරන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.