ශ්‍රී ලංකාවේ 'කීර්තිනාමය නැංවීමට කඩිනම් වැඩපිළිවෙළක්'

Image copyright AFP

ජාත්‍යන්තරය තුළ අප්‍රසාදයට පත් වී ඇති ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි ගොඩ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදේශ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

‘අපේ රට පුංචි රටක් උනත් දුප්පත් රටක් උනත් මුළු ලෝකයේම ගරුත්වය, කීර්තිනාමය දිනා ගත්ත රටක්. ඒ පමණක් නොවෙයි බලවත් රටවල යම් යම් අර්බුද ඇති වූ අවස්ථාවල ලෝක නායකයන් අපගේ ලංකාවේ අවවාද, අනුශාසනා පවා පිළිගත්ත අගය කරපු යුගයක් අපට මතකයි’ යනුවෙන් නව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

නමුත් පැවති ආණ්ඩුව අනුගමනය කළ වැරදි විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හුදකලා වී අපකීර්තියට පත් වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දින සියය ඇතුළත විදේශ අමාත්‍යංශය ප්‍රතිසංවිධානය කොට ඒ හරහා නිවැරදි තීන්දු තීරණ ගෙන නැති වූ කීර්තිනාමය නැවතත් ප්‍රතිස්ථාපනය කිරීම සිය මූලික අරමුණ බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර ලබන මාර්තු මාසයේදී යළිත් වතාවක් ශ්‍රී ලංකාවට ජිනිවා මානව හිමිකම් පිළිබඳ අභියෝගවලට මුහුණ දීමට සිදු වන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසූවේ.

‘ලෝකය ඉදිරියේ දියුණු ජාතියක් හැටියට ප්‍රජාතාන්ත්‍රික පාලනයක් ඇති රටක් හැටියට අපිට ලෝකය ඉදිරියේ ඇති අරගලය ජය ගන්නට අපිට සෑම පැයක්ම, සෑම දවසක්ම වැදගත්’ යනුවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර