ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'සත්‍යය හා සංහිඳියාව'

සංහිදියාව ඇති කිරීම සඳහා ගෙන යන ක්‍රියාදාමයට සත්‍යය හෙළිදරව් කර ගැනීමේ ප්‍රයත්නය ද ඇතුළත් විය යුතු බව ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ පැවසූහ.

නමුත් මෙය පැරණි තුවාල පෑරීමට නොව යුක්තිය පසිඳලීම සඳහා පමණක් විය යුතු බව පාප් වහන්සේ අවධාරණය කළහ.

ශ්‍රී ලංකාව, මානව හිමිකම්වලට ගරු කරන ආගමික හා දේශපාලන සංහිඳියාව ඇති රටක් බවට පත් වනු දැකීම තම අභිප්‍රාය බවයි ශුද්ධොත්තම පාප් වහන්සේ කියා සිටියේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පාප් වහන්සේ පිළි ගැනීමේ කතාව පවත්වන ලද අතර, ගුවන් තොටුපළට පැමිණ සිටි පිරිස ඇමතූ ශුද්ධෝත්තම පාප් වහන්සේ, ජනාධිපතිවරයාගේ නව වගකීම් වලට ආශිර්වාද කළහ.

මානව හිමිකම්වලට ගරු කරන මෙන් ශුද්ධෝත්තම පාප් වහන්සේ මෙහිදී බලවත් ඉල්ලීමක් කළහ.

කටුනායක සිට කොළඹ බලා පැමිණීමේදී දැඩි හිරු රැස් පතිත වීම හේතුවෙන් හැත්තෑ අට හැවිරිදි පාප් වහන්සේ වෙහෙසට පත් වී සිටි නිසා කොළඹදී අග රද ගුරුන් හමු වීම අත්හිටවූ බවයි සිරිල් ගාමිණි පියතුමා කියා සිටියේ.

හිටපු ජනාධිපති

අනතුරුව මාධ්‍ය හමුවක් පැවති අතර පාප් වහන්සේ පිළිගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණේදැයි මෙහිදී බීබීසීය ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් සිරිල් ගාමිණි පියතුමා කියා සිටියේ වත්මන් රජය හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කරන්නට ඇති බවයි.

සංහිදියාව ඇති කිරීම සඳහා ගෙන යන ක්‍රියාදාමයට සත්‍යය හෙළිදරව් කර ගැනීමේ ප්‍රයත්නය ද ඇතුළත් විය යුතු බවට පාප් වහන්සේ කළ ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ, යුද අපරාධ පරීක්ෂණයට භාජනය විය යුතු බවදැයි එක් මාධ්‍යවේදියෙක් මෙහිදී විමසා සිටියේය.

පාප් වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශක ෆෙදරීකෝ ලොබ්බාර්දි පියතුමා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ පාප් වහන්සේ ප්‍රකාශ නොකළ දෙයක් ගැන ප්‍රශ්න කළ නොහැකි බවයි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ අද (13) පෙරවරු 9ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට සැපත් වූයේ අලිතාලියා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශුද්ධෝත්තම පාප් වහන්සේ පිළිගනු ලැබූ අතර එම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු මැති ඇමතිවරු රැසක් පැමිණ සිටියහ.

ශුද්ධෝත්තම පාප් වහන්සේ පිළි ගනිමින් හමුදා ආචාර පෙළපාලියක් ද පැවැත් විණි.