දෙමළ ජාතික සන්ධානය 'දින සියය' දෙස විමසිල්ලෙන්

නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා නොගත් නමුත් ‘දින සියයේ වැඩසටහන’ දෙස විමසිල්ලෙන් බලා සිට දෙමළ ජනයාගේ අවශ්‍යතා සම්බන්ධයෙන් අභිනව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පවසයි.

වව්නියාවේ ටෙලෝ කාර්යාලයේදී පැවති දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය, මෛත්‍රිපාල සිරිසේන නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටි ඉල්ලීම් මිස අලුත් ඉල්ලීම් නොවන බවයි.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමේදී දෙමළ ජාතික සන්ධානය ඔහු සමග හෝ වෙනත් කිසිවකු සමග කිසිදු ආකාරයක ගිවිසුමකට එළඹීමක් සිදු නොවුණු බවද සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Image caption දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින්නේ මොනවාදැයි සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ යුද්ධය හේතුවෙන් විපතට පත් වැසියන්ට ලැබිය යුතු යළි පදිංචි කිරීම් පහසුකම්, ස්ථිර නිවාස, ඉඩම් අයිතිය යන කරුණු ගැන සාකච්ඡා කොට යම් විසඳුමකට පැමිණෙන බවයි.

යුද්ධය හේතුවෙන් මියගිය පිරිසට සහනයක් මෙන්ම අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් යම් සාධාරණයක් ඉල්ලීමටද දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව උතුරු පළාත් සභාව වෙනුවෙන් අවශ්‍ය බලතල ඉල්ලා සිටීම, ආරක්ෂක නිලධාරියෙකු නොවන ආණ්ඩුකාරවරයෙකු සහ නව ලේකම්වරයෙකු උතුරු පළාත් සභාව වෙනුවෙන් ඉල්ලා සිටින බවද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර