ඌවේ නව මහ ඇමති හරීන්

රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයකුට බලය අහිමිකරමින් ඌව පළාත් සභාවේ නව මහඇමතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු දිවුරුම් දෙයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති තියුණු මුහුණුවරක් ගත් ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමිවූ අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌවේ මහ ඇමති ලෙස දිවුරුම් දෙනු ලැබීය.

බදාදා උදෑසන ඌව ආණ්ඩුකාර සී නන්ද මැතිව් ඉදිරියේ හරීන් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් හය දෙනකුගේ සහය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමෙන් අනතුරුවයි.

මෙලෙස එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දීමට තීරණය කර ඇති පිරිස අතර අනුර විදානගමගේ, හරීන් ධර්මදාස හා කිත්සිරි සෙනරත් යන පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිති.

ඌව පළාත් සභාවේ නව සංයුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව (17) දාහතක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන (15)ක් පමණයි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා පළාත් සභාව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

දිවුරුම් දීම හදිසියේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් හරීන් ප්‍රනාන්දුට සහය ලබා දෙන බවට ආණ්ඩුකාරයාට දන්වා සිටි අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් වරප්‍රසාද ලබා දෙමින් හෝ වෙනත් ආකාරයෙන් ඔවුන් රඳවා ගැනීමේ උත්සාහයක් ඇති බවට ආරංචි පැතිර ගොස් තිබුණ නිසා දිවුරුම් දීම හදිසියේම සිදු කොට ඇති බව වාර්තාකරුවෝ පවසති.

එක්සත් ජාතික පක්ෂය පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී ගත් ඡන්ද ප්‍රතිශතය විපක්ෂයේ පොදු අපේක්ෂකවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා රුකුල් දුන් එක් තීරණාත්මක සාධකයක් බව විචාරකයෝ පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර