මෛත්‍රීගේ ජන්මපත්‍රය බලවත් - සුමනදාස

Image copyright AFP

හිටපු ජනාධිපතිවරයාට වඩා අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජන්මපත්‍රය බලවත් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ජ්‍යොතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන පවසයි.

‘ජයග්‍රහණය සඳහා මට කළ හැක්කේ සීමිත කාර්යභාරයක් පමණයි. ඒ කියන්නේ සියයට පහක පමණ ප්‍රමාණයක් . නමුත් ජනාධිපතිවරයකු වීම සඳහා ඔබට වාසනාවත් තිබිය යුතුයි’ යනුවෙන් සුමනදාස අබේගුණවර්ධන කියා සිටි බව ප්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.

ජ්‍යොතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් පරාජය වන බව තමා පෙර සිට දැන සිටි බවයි.

නමුත් ඒ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කීමට තමාට ශක්තියක් නොතිබුණු බවයි ඔහු කියා සිටියේ.

‘මම ඔහු ජයග්‍රහණය නොකරන බව කිව්වා නම්, ඒක ඔහුට මානසිකව බලපාන්න තිබුණා. එහෙම වුණා නම් ඔහුගේ පරාජය වඩාත් නරක අතට හැරෙන්න ඉඩ තිබ්බා’ යනුවෙන් ඡ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසා ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

Image copyright AP

කිසිදු ඡ්‍යෝතීර්වේදියකුට සියයට සියයක් නිවැරදි පුරෝකථන කළ නොහැකි බවයි ජ්‍යොතිෂ්‍ය උපදේශකවරයා පවසන්නේ.

කෙසේවෙතත් පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය භාර නොගන්නා මෙන් තමා හිටපු ජනාධිපතිවරයාට මීට පෙර අනතුරු හඟවා සිටි බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙර පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දැරූ ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරිය ජූලියා ගිලාර්ඩ්ට අගමැති ධුරයෙන් සමු ගැනීමට සිදු විය.

‘පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරය කටු ඔටුන්නක්. මම ඔහුට කිව්වා ධුරය භාර ගන්න එපා කියලා’ යනුවෙන් ඔහු කියා සිටියේය.

‘බලන්න මොකක්ද සිද්ධ වුණේ ජූලියා ගිලාර්ඩ්ට? ඒ දේම සිද්ධ වුණා අපේ හිටපු ජනාධිපතිතුමාටත්’ යනුවෙන් ඡ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන වැඩි දුරටත් කියා සිටියේ යැයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර