ශුද්ධෝත්තමයන්ගේ සිසිලස සිපිරිගෙයටත්

Image caption කුරුවිට බන්ධනාගාරය

දඩ ගෙවා ගත නොහැකි සහ සුළු වැරදි මත බන්ධනාගාර ගතව සිටි සිරකරුවෝ හයසිය දොළොස් දෙනෙක් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලබති.

ශ්‍රී ලංකාව පුරා පිහිටි බන්ධනාගාර විසි අටක සිරදඬුවම් විඳි පිරිමි සිරකරුවෝ පන්සීය හැත්තෑ පහක් සහ කාන්තා සිරකරුවෝ තිස්හත් දෙනෙක් සමාව ලබා නිදහස් වූ පිරිස අතර වෙති.

මීට අමතරව බරපතළ ගනයේ නොවන වැරදි වෙනුවෙන් සිරදඬුවම් විඳි වයස අවුරුදු හැත්තෑපහ ඉක්ම වූ කාන්තා සහ පිරිමි සිරකරුවන්ටද ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ටීඑන් උපුල්දෙනිය පැවසුවේය.

මෙසේ ජනාධිපති සමාව හිමිව නිදහස ලැබූ සිරකරැවන්ට සිය නිවෙස් බලා යෑම සඳහා බස්ගාස්තුද ගෙවනු ලැබීය.

තමාට ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලැබෙන බව අවසන් මොහොත දක්වා දැන නොසිටි බව නිදහස ලැබූ බොහෝ සිරකරුවෝ පැවසූහ.

කුරුවිට බන්ධනාගාරයේ පිරිමි සිරකරුවෝ තිස්හය දෙනෙක් සහ කාන්තා සිරකරුවෝ හය දෙනෙක් බදාදා උදෑසන නිදහස ලබා පිටව ගියහ.