ශ්‍රීලනිපයත් මෛත්‍රීට

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ විධායක සභාවේ අනුමැතියෙන් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ නව සභාපති ධූරයට පත් කර ගැණින.

සභාපති පදවිය නව ජනාධිපතිවරයාට භාරදීමට තීරණය කළ බව ඊට පෙරාතුව නිවේදනය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැස්වීමට සහභාගි නොවූ නමුත් කථානායක චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එයට සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වැළැක්වීමට මෙම තීරණය ගත් බවයි, හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පාක්ෂිකයන්ගේ ආරක්ෂාව ද පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු කරන මෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

පසුගිය බදාදා රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයා සහ නව ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුර වන එහි සභාපති ධුරය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟතාව පළ කළේය.

තමා දේශපාලනයෙන් සමුගැනීමේ අදහසකින් සිටින බව හිටපු ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ සඳහන් කළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී තමා වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කළ පනස්හත් ලක්ෂයක් ඉක්ම වූ ජනතාවගේ ප‍්‍රාර්ථනා හා අභිලාෂයන් වෙනුවෙන් ඉදිරියටත් දැඩිව පෙනී සිටින බව හිටපු ජනධිපතිවරයා සිකුරාදා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

නව විපක්ෂනායක

සභාපති පදවිය හැරුණු කොට පක්ෂයේ අනෙක් සියලු තනතුරුවල වෙනසක් වී නැති නමුත් පරාජයේ වගකීම භාරගෙන පක්ෂයේ ප්‍රධාන සංවිධායක පදවියෙන් ඉල්ලා අස් වන බව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ.

කෙසේ නමුත් ඒ පිළිබඳ අවසාන තීරණය ගැනීම පක්ෂයේ නව සභාපතිවරයා වෙත පැවරෙන බව පක්ෂ ලේකම්වරයා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

මේ අතර විධායක සභා රැස්වීමෙන් අනතුරුව පැවැත්වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා විපක්ෂනායක ලෙසිනුත්, ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසිනුත් ඒකමතිකව තෝරා ගත් බව නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර